ජනප්රිය කලාකරුවන් ගැන ව්යාජ තොරතුරු නිර්මාණය කරමින්, සමාජ මාධ්යයේ හුවමාරු කරන්නවුන් සෑහෙන්න අපට දකින්න ලැබෙනවා.
එවන් තොරතුරුවලින් අනෙක් පාර්ශ්වය කෙතරම් අපහසුතාවට පත්වනවා ද යන කාරණය කෙරෙහිවත්, ඔවුනට කිසිදු තැකීමක් නැති තරම්.
මේ ව්යාජ පුවත් නිර්මාණය වන්නේ ම, ඉතාමත් සංවේදී කරුණු ඉලක්ක කරගෙන.
එවන් ව්යාජ කතාවක්, ගෙවුණු කාලයේ සමාජ මාධ්යයේ දැඩි කතාබහට ලක්වෙන්න ගත්තා.
කතාව ගොතලා තිබුණෙ, ජනප්රිය රංගන ශිල්පිනි විනූ උදානි සිරිවර්ධනගේ නම අලලා.
ඒ, ඇය ගංවතුරට අසුවීමෙන් ඇයට ලැබෙන්න උන්නු දරුවා නැති වුණු බවට. මේ කතාව නිර්මාණය කරලා තිබුණෙ AI තාක්ෂණයෙන් සකසන ලද ව්යාජ වීඩියෝවක් එක්කම.
AI තාක්ෂණයෙන් බොහෝමයක් ප්රයෝජන ගන්නා මිනිස්සු ඉන්න ලෝකෙක, අපේ රටෙන් මේ වගේ කතා අහන්න ලැබුණු පළවෙනි වතාව නෙවෙයි මේ.
මෙයාකාරයෙන් තමන් ගැන පැතිරෙන්න ගත්ත ව්යාජ තොරතුර ගැන විනූ ඒ දවස්ලව ම ප්රතිචාර දක්වලත් තිබුණා.
මෙහෙම කතාවක් නිර්මාණය වෙන්නෙ, විනූ ලංකාවෙවත් නැති කාලෙක…..
”දිට්වා සුළි කුණාටුව ඇවිත් ලංකාවට ගංවතුර ගලනකොට මම හිටියෙ විදේශගත වෙලා.
ඇත්තටම මට තවම දරුවෙක් ලැබෙන්න නැහැ.
ගංවතුර තත්ත්වයෙන් රටේ මිනිස්සු ආපදාවට පත්වෙලා ඉන්න මොහොතවත් තකන්නෙ නැතුව එක්තරා YouTube නාලිකාවක් Views බලාපොරොත්තුවෙන් මාව ගංවතුරට අසුවීමෙන් ලැබෙන්න හිටපු දරුවා නැතිවෙලා කියලා AI තාක්ෂණයෙන් සකසපු ව්යාජ වීඩියෝවක් ප්රසිද්ධ කරලා තිබුණා.
ඒ වීඩියෝව නරඹපු ගොඩක් දෙනා මට කතා කරලා ඇහුවා දැන් කොහොමද මගේ සෞඛ්ය තත්ත්වය කියලා.
මේ ව්යාජ වීඩියෝව නිසා මමත් මගේ පවුලේ අයත් සෑහෙන්න අපහසුතාවට පත්වුණා.
දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මම ම ඒ ගැන රසිකයින්ට කියන්නම්. එතකන් කවුරුත් කියන කටකතා විශ්වාස කරන්න එපා කියලා රසිකයින්ගෙන් මම ඉල්ලනවා….”
උපුටාගැනීම : පිනිපලස


















