BREAKING NEWS
Search

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

356

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ බොරලැස්ගමුව, වැල්ලව, දංකොටුව, මදුරාගොඩ සහ කඩවත පොලිස් වසම්වලදීය.

කොළඹ – හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය  රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

මේ අතර වැල්ලව පොලිස් වසමේ ගෝනගම – රංගම මාර්ගයේ රත්මලේ ප්‍රදේශයේදී ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් ටිපර් රථයේ රියදුරු හා මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, වාරියපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිද පුද්ගලයෙකි.

මේ අතර දංකොටුව – පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොච්චිකඩේ  ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

මේ අතර මාතලේ – කුරුණැගල මාර්ගයේ අල්වලවලපිටිය ප්‍රදේශයේදී ලොරි රථයක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රිදීගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

මේ අතර කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත පාලම අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය රාගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *