“අනේ පුතේ පස් අල්ලන්න එපා”, “ඔය බිත්තිවල කුරුටුගාන එක නවත්වන්න.” “දැන් සෙල්ලම් කරන වෙලාව නෙමෙයි” මෙසේ දරුවා කරන හැම කටයුත්තක්ම කිරීමට ඉඩ නොදී දුරස්ථ පාලකයකින් මෙහෙයවන්නාසේ දරුවා මෙහෙයවීමට ඇතැම් මවුපියන් පෙලෙඹෙති. ඇතැම්විට එසේ දරුවාව රොබෝ කෙනකු සේ මෙහෙයවීම මවුපියන්ගේ පුරුද්දක් බවටද පත්ව ඇත.
ඇතැම් විට “බබාට මොනවද කරන්න හොඳ එතකොට” යැයි දරුවකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. එවන් ප්‍රශ්නයක් ඔබේ දරුවාත් ඔබෙන් විමසුවහොත් ඔබද නිරුත්තර වීමට පුළුවන. මෙයින් පැහැදිලිවනුයේ දරුවා කරන සෑම කටයුත්තක්ම අනුමත කරන්න කියා නොවෙයි. දරුවා කරන ඇතැම් කටයුතු ඔබ අනුමත නොකරන්නේ නම් එහි හොඳ, නරක දරුවාට කියාදිය යුතුයි යන්නයි.
දරුවා නිවැරදි ලෙස හැසිරෙන්නේ නැත්නම් හෝ ඔබ අකැමැති දෙයක් කිරීමට පෙලඹෙනවා නම් එය නොකරන ලෙස දරුවාට පැවැසීම වැදගත්ය. නමුත් එසේ පවසනවිට එය ආමන්ත්‍රණයක් විය යුතුය. එසේම දරුවාට “එපා” කියන්නේ කුමන හේතුවක් මතද යන්න පැහැදිලි කළ යුතුය. උදාහරණයක් ලෙස “පුතේ මදුරුකොයිල් එක අල්ලන්න එපා..ඇල්ලුවොත් අත පිච්චෙයි” මෙලෙස දරුවාට නිශ්චිතව හේතුව ප්‍රකාශ කිරීම වැදගත්ය. එවිට දරුවාට ඔබව වදයක් වන්නේවත්, ඔබට දරුවාව හිතුවක්කාර දරුවකු ලෙස හැඟෙන්නේවත් නැත.
මවුපියන් යම් මානසික පීඩනයක සිටින අවස්ථාවක දරුවකු යම් වරදක් කළහොත් ඔවුන් තුළ තිබෙන පීඩනය දරුවා තුළින් පිටවීමට පුළුවන. ඇතැම්විට අප එසේ වුවමනාවෙන්ම නොකළත් අප අතින් ඉබේම එකී වැරැද්ද සිදුවෙයි. “කිව්වා නේද අහල පහළ ළමයි එක්ක සෙල්ලමට යන්නේ නැහැ……. කියලා. කොච්චර කිව්වත් මේ ළමයා අහන්නේ නැහැනේ…… ආයේ එහෙ මෙහෙ ගිහිල්ලා අහුවුණොත් හතර හන්දි කඩනවා” යැයි අප මානසික පීඩනයක සිටින අවස්ථාවක පැවැසුවත් අප සතුටින් සිටින විට එසේ නොපවසන්නට ඉඩ ඇත.
“ආ…. එහෙනම් අදට විතරක් යන්නකෝ… හැබැයි ඉක්මනට එන්න පුතේ” යැයි එවිට පවසයි. මෙසේ එක් අවස්ථාවක තරවටු කරන්නත් අනෙක් මොහොතේ ගණන් නොගෙන සිටීමත් නිසා ඔබ දරුවාට දුන් ඔවදනේ වටිනාකම නැතිවීමට පුළුවන. මේ නිසා ඔබ යම් ඔවදනක් දෙන්නේ නම් කිසිවිටෙක කුමන හේතුවක් මත එය වෙනස් නොකිරීමට වගබලා ගැනීම වැදගත්ය.
“හා… හා… වතුරෙ නටන්නෙහෙම නෑ…. හෙම්බිරිස්සාව හැදිලා හොටු පෙර පෙර තමයි ඉන්න වෙන්නේ යැයි” පවුලේ එක් සාමාජිකයෙක් පවසන විට අනෙක් සාමාජිකයා “ඔන්න ඔහෙ කමක් නෑ….. දැන් වතුරෙ සෙල්ලම් කරන්නේ නැතිව කවදා සෙල්ලම් කරන්නද’ යැයි පවසයි. මෙසේ දරුවාට එකිනෙකට පරස්පර අවවාද ලබාදීමටත් දරුවාට දෙන අවවාද කෙරෙහි ඇති විශ්වාසය, වටිනාකම හීන වී යයි. එසේම තමත් කැමැතිදේ එපා කියන පුද්ගලයා කෙරෙහි තරහවකුත්, තමන් කැමැති දේ කිරීමට දිරිදෙන පුද්ගලයා කෙරෙහි ළබැඳියාවකුත් ඇතිවෙයි. ඒ නිසා ඔබ දරුවාට යම් අවවාදයක් ලබාදෙන්නේ නම් පවුලේ සැමදෙනාම එකම මතයක සිටීම වඩාත් සුදුසුය.
මට එපා, එපා කියලා කටට නිවනක් නැහැ. මං පොඩ්ඩක් හරි නිවිසැනසිල්ලේ ඉන්නේ මේ දරුවා ඩිංගිත්තක් ඇහැ පියා ගත්තමයි. මවුපියන්ගේ මුවින් මෙවැනි වදන් පිටවනවා අප අනන්තවත් අසා ඇත. එසේ වන්නේ දරුවන්ගේ දඟකාරකම්වලට මවුවරුන් ඕනෑවටත් වඩා වදවන නිසයි. මේ නිසාම දරුවන්ට “ඒක කරන්න එපා” මේක කරන්න එපා” කියනවට වඩා කාර්යයක් මවුපියන්ට නැත. මෙය මවුපියන්ට වගේම දරුවන්ටද වදයකි. එවිට මුල් අවස්ථාවන්හි මවුපියන්ට බියවී එකී වැරදි දරුවන්ගේ අතින් සිදුනොවුණත් දීර්ඝකාලීනව එසේවන්නේ නැත. මන්ද දරුවා කරන සෑම කටයුත්තකටම අකුල් හෙළනාවිට දරුවාට නිවැරදි ක්‍රියාව තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැත. එසේම දිගින් දිගටම අවවාද කිරීමෙන් දරුවාට එකී ඔවදන් එපා වී නොසලකා හැරීමද පුළුවන.
දරුවන්ගේ ජීවිතයේ වීරයන් වන්නේ මාවුපියන් වන ඔබය. ඒ නිසා දරුවන් සැමවිටම ඔබෙන් බලාපොරොත්තු වන්නේ නිවැරදි දෙයයි. ඒ නිසාම ඔබ දරුවන්ට විශ්වාසයේ පලිහක් වී ඔවුන්ගේ දීප්තිමත් අනාගතය සුරැකිය යුතුය. ඒ සඳහා ඔබ දරුවන්ට පිරිනමන සෙනෙහෙබර වදන ඔවුන්ට මහමෙරටත් වඩා විශාලය.
විශ්මි ජයනිකා



















