මෙය මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැලකිය හැකි සාක්ෂි විමර්ශන අංශ අනාවරණ කරගෙන තිබෙන අතර බෝම්බකරු ආරක්ෂක අංශ විසින් මීට පෙර හඳුනාගෙන තිබු වෛද්‍යවරයෙකු බව හෙළිව තිබෙනවා.
මෙම ප්‍රහාරයත් සමඟ නවදිල්ලි අගනුවර ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව තර කෙරුණා.
මිලියන 30කට ආසන්න ජනතාවක් දිවිගෙවන සහ දැඩි ආරක්ෂාවක් සපයා ඇති ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බළකොටුව ආසන්නයේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට යාබදව හදිසි පිපිරුමක් වාර්තා වුණේ ඊයේ දිනයේදීයී.
දිල්ලි ගිනි නිවීමේ අංශය පැවසුවේ පස්වරු 6.55ට පිපිරීමක් සම්බන්ධයෙන් තමන් වෙත දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.
රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක එම පිපිරුම සිදුව තිබුණා.
පිපිරීමත් සමඟ අසල තිබූ තවත් මෝටර් රථ තුනක් හා ත්‍රිරෝද රථ 03ක් ගිනිගැනීමට ලක්වුණේ මෙලෙසින්.
එමෙන්ම අසල තිබූ තවත් වාහන කිහිපයකට ද හානි සිදුවුණා.
පිපිරුමෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගින්න පාලනය වෙනුවෙන් ගිනි නිවන රථ 7ක් ද යොදාගත් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිල්ලි වැසියෙක් මෙලෙස පවසා තිබුණා.
“අපි 6.35ත් 6.40ත් අතර වේලාවේදී තේ පානය කරමින් සිටියදී එකවර මාර්ග සංඥා කුලුනු අසලින් පිපිරීමක් ඇසුණා. ඒ ශබ්දයට අපි එකවර ගල් ගැසි ගියා. මම කැමරා අරගෙන රූගත කළා. ඒ වෙලාවේ වාහන 10ක් 12ක් විතර විනාශ වෙල තිබුණා. හැමෝම බයෙන් පැනලා ගියා. මගේ ඇස් ඉදිරිපිට 18ක් 20ක් විතර පිරිසක් වැටිලා හිටියා. ඇතැම් අය මෝටර් රථ උඩට විසිවෙලා. මේ ඛේදවාචකය මගේ ඇස් දෙකෙන්ම දැක්කා.”
මෙම පිපිරීම සිදුව ඇත්තේ රතු බලකොටුවේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන තදබදයක් තිබූ අවස්ථාවක බව වාර්තා වනවා.
අදාළ මෝටර් රථයේ CCTV දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර සෙමින් ධාවනය කෙරුණු එම රථය තුළ සැකකරුවන් පිරිසක් සිටින අයුරු ද එහි දැක්වුණා.
නවතම පරීක්ෂණ අනුව මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි අනාවරණ වී ඇත්තේ.
එම පිපිරීම සිදුකරගෙන ඇත්තේ වෛද්‍ය උමාර් මොහොමඩ් නමැත්තෙකු වන අතර ඔහු ජම්මු කාශ්මිරයේ උපත ලැබුවෙකු බව සඳහන්.
ඔහු පැය 03කට වැඩි කාලයක් රථයේ රැඳී සිට ඇති අතර කිසිදු අවස්ථාවක ඉන් පිටතට පැමිණ නැති බවද වාර්තා වනවා.
මීට දින කිහිපයකට පෙර ඉන්දීය ආරක්ෂක අංශ විසින් ෆරීදාබාද් හී සිදුකළ මෙහෙයුමක් අතරතුර ඔහු පළා ගොස් තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.



















