මාකොළ ප්‍රදේශය එකම මළ ගමක් බවට පත්ව ඇත. මුළු ප්‍රදේශයම සුදු කොඩිවලින් සරසා තිබෙන අතර බැලු බැලුවන්ගේ නෙත්වල කඳුළු බිඳුය.
තවත් තැනෙක සෝ සුසුම්ය. විටෙක කෙඳිරිලිය. විටෙක විලාප හඬය. එම ප්‍රදේශයේ මළවුන්ගේ නිවහන් සොයා ගිය අපටද වාවාගත නොහැකි තරමේ දැඩි සංවේගයක් ඇති විය.
පෙරේදා (05 වැනිදා) මාකොළ හා කොළඹ, ග්‍රැන්ඩ්පාස් යන ප්‍රදේශවලින් හලාවත මුන්නේශ්වරම් කෝවිල වැඳ පුදා ගැනීමට ගොස් ආපසු එමින් සිටියදී හලාවත දැදුරුඔය පාලම අසල දියනෑමට ගිය අවස්ථාවේ එම පිරිසෙන් තරුණයන් පස් දෙනකු දියේ ගිලී මේ මරණ සිදු වී ඇති අතර ඉන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු හා ඔවුන්ගේ මිතුරකු මාකොළ ප්‍රදේශයේ වීම මීට හේතුය. මරණයට පත්වූ සෙසු තරුණයන් දෙදෙනා කොළඹ, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෝය.
මෙසේ දියේ ගිලී මිය ගියේ මාකොළ , සිරිමංගල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සපුගස්කන්ද මහ විද්‍යාලයේ 12 වැනි වසර වාණිජ පන්තියේ අධ්‍යාපනය ලැබූ උදාර ඉන්ද්‍රජිත් (17), මාකොළ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු වන කැලණිය ධර්මාලෝක මහ විද්‍යාලයේ 12 වැනි වසර වාණිජ පන්තියේ අධ්‍යාපනය ලැබූ පන්සිලු මල්ෂාන් මධුවන්ත අබේසිරිවර්ධන (17) හා දිලංක දිල්ශාන් මධුවන්ත අබේසිරිවර්ධන (27), කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි තරිඳු නවගන්පුර (12) හා විරැස් නවගනාපුර යන පස් දෙනා වෙති.
මේ පුවත ආරංචි වීමත් සමඟම අපි පළමුවෙන්ම මාකොළ, සිරිමංගල පාර ප්‍රදේශයේ මියගිය සපුගස්කන්ද මහ විද්‍යාලයේ 12 වැනි වසර වාණිජ පන්තියේ අධ්‍යාපනය ලැබූ උදාර ඉන්ද්‍රජිත් (17) සිසුවාගේ නිවෙසට ගියෙමු. උදාර ඉන්ද්‍රජිත්ගේ පියා අජිත් කුමාර මහතා (47) ව්‍යාපාරිකයකු වන අතර මව අනුෂා දමයන්ති මහත්මිය (47) රැකියාවක් කරන්නේ නැත. උදාර ඉන්ද්‍රජිත්ට සහෝදරියක් සිටින අතර ඇය ඉමාෂි ගමගේ (22) කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන්නීය.
එහිදි මව වන අනුෂා දමයන්ති මහත්මිය (47) හැඬූ කඳුළින් වියෝව විඳ දරා ගැනීමට නොහැකිව තම ආදරණීය පුතණුවන් සිහිපත් කෙළේ මෙසේය. “පුතා පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයායි. ඔහු දක්ෂ පිතිකරුවකු හා දක්ෂ පන්දු යවන්නකු වෙනවා. ක්‍රිකට් තමා එයාගේ ජීවිතය. ක්‍රිකට්වලින් ඉදිරියට යන්නටයි එයාගේ බලාපොරොත්තුව තිබුණේ. ඒ නිසා පුතා ක්‍රිකට් ක්ලබ් එකකට දාන්නටයි සිටියේ.
සිද්ධිය වු දින (05 වැනිදා) උදේ 9. 30ට පමණ ගෙවල් පැත්තේ පිරිසක් සමඟ හලාවත මුන්නේශ්වරම් කෝවිලට යනවා කියලා ගියා. පුතා ගෙදරින් පිටත් වන්නට කලින් මගෙත් එයාගේ තාත්තාගෙත් කකුල් දෙක අල්ලලා වැන්දා. තාත්තාගේ උරහිසට අත තියලා මා උසයිනේ කියලා කීවා. මා දැන් ලස්සනයි නේද කියලත් ඇසුවා. සවස 4.00ට පමණ අපි එන්නටයි හදන්නේ කියලා ෆොටෝ එකක් ෆෝන් එකට එවලා තිබුණා. එහෙම කියූ පුතාට මෙවැනි විපතක් සිදු වෙයි කියලා අපි සිහිනයකින් වත් සිතුවේ නැහැ.”
ඉන් පසුව අපි මාකොළ – දකුණ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ මියගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනා වන කැලණිය ධර්මාලෝක මහ විද්‍යාලයේ 12 වැනි වසර වාණිජ පන්තියේ අධ්‍යාපන ලැබූ පන්සිලු මල්ෂාන් මධුවන්ත අබේසිරිවර්ධන (17) හා දිලංක දිල්ශාන් මධුවන්ත අබේසිරිවර්ධන (27) යන අයවලුන්ගේ නිවෙසට ගියෙමු. අපි එහි යනවිට ඔවුන්ගේ පියා හා මව පුතුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා හලාවත රජයේ රෝහලට ගොස් සිටියහ.
පියා ව්‍යාපාරික කරුණාදාස අබේසිරිවර්ධන මහතා ( 57 ) වන අතර මව එච්. ඒ. රත්නසිලී මහත්මිය (48 ) රැකියාවක් නොකරයි. සහෝදරයන් තිදෙනකුගෙන් යුත් පවුලේ දිලංක දිල්ශාන් (27) වැඩිමලා වන අතර පන්සිලු මල්ෂාන් (17) පවුලේ බාලයා වේ. පන්සිලු මල්ෂාන් පාසලේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙකි.
එම පවුලේ සෙසු සහෝදර නතිෂ හිරුෂාන් මධුවන්ත අබේසිරිවර්ධන යන අය (20) සිය දුක පැවැසුවේ මෙසේය.
“අයියා හා මල්ලි සමඟ අම්මාද මේ ගමනට එක් වුණා. හලාවත මුන්නේශ්වරම් කෝවිල වැඳ පුදා ගෙන ආපසු එන ගමන් මේ පිරිස හලාවත දැදුරුඔය පාලම අසල දියනෑමට ගිහින් තියෙනවා. එහිදී වෙන කෙනෙක් දියේ ගසා ගෙන යද්දී දිලංක අයියා එයා බේරා ගන්නට පැන්නාලු. පසුව අයියා බේරා ගන්නට අම්මා පැන්නාලු. එතැනට ආ බෝට්ටුවක අම්මා එල්ලිලා බේරී තිබෙනවා. දිලංක අයියා ජපානයේ රැකියාවකට යෑම සඳහා වීසා එනතුරුයි බලා සිටියේ.”
මේ ගමනට එක් වූ මාකොළ – දකුණ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පදිංචි පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු කවිෂ්ක ඩිල්ෂාන් (23) සඳහන් කළේ මෙවන් අදහසකි.
“මේ ගමනට මාද එක් වුණා. මාකොළ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් පිරිසක් ගියා. 40ක් පමණ සහභාගි වුණා. උදේ 9.30ට පමණ පිටත් වුණා. ගමන යන අතරතුර මාරවිල කුරුස පල්ලියට ගියා. වේලාව දහවල් 12ට පමණ ඇති. එතැනින් සවස 1 .00ට පමණ පිටත්වී හලාවත මුන්නේශ්වරම් කෝවිලට ගියා. වෙලාව සවස 2.30ට පමණ ඇති. පසුව එතැනින් පිටත්වී හලාවත දැදුරුඔය පාලම අසලට ආවා. වෙලාව සවස 4 .00ට පමණ ඇති. එතැනදී දහවල් කෑම කාලා දිය නෑමට ගියා. මාද දිය නෑවා. අපි දිය නාන තැන මඩ වතුර කියලා පිරිසක් වෙන තැනක දිය නාන්නට ගියා. එතැනදී තමයි මේ විපත සිදු වුණේ අපි කී දේවත් අහන්නෙ නැතිව ඒ අය මරණය සොයා ගෙන ගියා.”
මියගිය උදාර ඉන්ද්‍රජිත්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (08 වැනිදා) පස්වරුවේ මාකොළ නෙල්ලිගහකනත්ත පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතව තිබෙන අතර සෙසු දෙදෙනාගේ අවසන් කටයුතු ගැන මේ වාර්තාව සපයමින් සිටි මොහොත වන විටත් දින නියම කොට නොතිබිණි.


















