ගොතටුව පොලිස් ස්ථානාධිපතිවරයා (ඕ.අයි.සී.) අවවාදයක් කළැයි කෝපයට පත් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (19දා) සවස පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වැදී කාර්යාලයේ දොර වැරෙන් වසා අනවසරයෙන් පොලිසියෙන් බැහැරව යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වැදී ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය පදිංචි 24 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බව උසස් පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.
පෙරේදා සවස මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරියේ යෙදී සිටියදී එම රාජකාරිය පසෙකලා ජංගම දුරකථනයෙන් වීඩියෝ නරඹමින් සිට ඇත. වෙනත් නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයා ඒ ගැන ආධුනික පොලිස් කොස්තාපල්වරයාගෙන් විමසීමට යෑමේදී කෝපයට පත් ඔහු ස්ථානාධිපතිවරයාට බැණ වැදී පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ඇතැයි හෙළිව තිබේ.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර් මහතාගෙන් විමසූ විට කියා සිටියේ නුගේගොඩ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරිවයකුගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් අරඹා ඇති බවයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු


















