BREAKING NEWS
Search

ජීවිත 16ක් බිලිගනී.. බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක මහා ඛේදවාචකයක්..

122
මේ ඇසෙන්නේ තවත් එක් ඛේදනීය සිදුවීමක්. ඔවුන්ගේ ජීවිත මේ විදිහට මිලින වෙයි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.
බංග්ලාදේශයේ අගනුවර වන ඩකාහි, මීර්පූර් ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක් සහ යාබද රසායනික ගබඩාවක් ගිනි ගැනීමෙන් අවම වශයෙන් දහසය (16) දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ගින්න හටගෙන ඇත්තේ ඊයේ (14) දේශීය වේලාවෙන් පෙ.ව. 11.45 ට පමණයි.

ගිනි නිවන නිලධාරී සඳහන් කර ඇත්තේ ඇඟලුම් කම්හල් ගොඩනැගිල්ලෙන් දැනට මෘත දේහ දහසයක් (16) සොයාගෙන ඇති බවයි.

මෙම මළ සිරුරු දැඩි ලෙස පිළිස්සී ඇති බැවින්, DNA පරීක්ෂණ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වනු ඇති බවද සඳහන්.

මියගිය සියලු දෙනාම විෂ වායු ආශ්වාස කිරීමෙන් මිය යන්නට ඇතැයි ගිනි නිවන ඒකක සැක කරනවා.

රසායනික පිපිරීමක් හේතුවෙන් විෂ සහිත දුම් පිටවීම ක්ෂණික මරණවලට හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවයි පවසා ඇත්තේ

කම්හල තුළ තවමත් සෝදිසි මෙහෙයුම් සිදු වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක 12 ක් යොදවා තිබූ අතර, ඇඟලුම් කම්හලේ ගින්න සවස් වන විට සම්පූර්ණයෙන්ම වාගේ නිවා දමා ඇති බව බලධාරීන් පසුව තහවුරු කර තිබුණා.

එහෙත්, රසායනික ගබඩාවේ ගින්න තවමත් සම්පූර්ණයෙන් පාලනය කර නැති බවට වාර්තා වනවා. එම ගබඩාවේ ගින්න නිවීමට ඩ්‍රෝන යානා වැනි තාක්ෂණික උපක්‍රම භාවිතා කරන බව ද වාර්තා වනවා.

දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූවන් ඇතුළුව තුවාල ලැබූවන් ඩකාහි පිහිටි රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙම සිද්ධිය බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳව නැවත ප්‍රශ්න මතු කර ඇති බවට ද වාර්තා පළ වෙනවා.

රසායනික ගබඩාව බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වන්නට ඇති බවට ද සැක පළවනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *