ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ වීදියවත්ත හන්දියේදී අද(04) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වීමේ අනතුර සිදුවූයේ ලොරි රථයේ අධික ලෙස බර පැටවූ නිසාද යන්න පිළිබඳ පොලිසිය විසින් විමර්ශන අරඹා තිබෙනවා.
ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා පැවසුවේ, ලොරි රථයේ අධික ලෙස බර පටවා ඇති බවට ඔප්පු වුවහොත්, ලොරි රථයේ හිමිකරුටද නඩු පවරන බවයි.
ලොරි රථයේ රියදුරු සහ රිය සහායකයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම කියාසිටියා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසලේ නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ කශේන් වදීෂ (15) නමැති සිසුවෙක්.
ඔහුගේ දෙමාපියන් ඖෂධවේදීන් ලෙස සේවය කරන අතර, වදීෂ දරු තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවායි.
සිද්ධිය වන අවස්ථාවේ වදීෂ උපකාරක පන්තියකට සහභාගී වී කොණ්ඩය කපාගෙන නිවස බලා එමින් සිට තිබෙනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ, වේගයෙන් සහ අපරික්ෂාකාරීව පැමිණි ලොරි රථයක් පාසල් සිසුවා යට කරගෙන අනතුරුව කාර් රථයක සහ ත්‍රීවිල් රථයක ගැටී නතර වූ බවයි.
බරපතළ තුවාල ලැබූ සිසුවා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කියාසිටියේ ලොරි රථයේ අධික ලෙස බර පටවා තිබූ බවයි.
තවද, ලොරි රථය තුළ හිස් බියර් කෑන් එකක් තිබී ඇති අතර රියදුරා බියර් පානය කරමින් රථය ධාවනය කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මෙම අනතුරට පෙර ද ලොරි රථය තවත් ත්‍රීවිල් රථයක ගැටී ඇති බවට තොරතුරු ඇතැයි ද පුදේශවාසීන් පවසනවා.
රිය අනතුරෙන් පසු එම ස්ථානයෙන් පලාගිය ලොරි රථයේ රියදුරු පසුව ගම්පහ පොලිසියට භාර වී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

















