ශිල්පී දසුන් නිෂාන් ද සිල්වා තරුණ කලාකරුවාගේ හදිසි සමුගැනීමේ සිදුවීම නිසා රටම කම්පාවට පත්වුණා.
දසුන් නිෂාන් ජීවිතයෙන් සමුගෙන මේ වන විටඅවුරුදු 8ක් ගෙවී ගොස් තිබෙනවා. නමුත් ඔහුගේ පවුලේ උදවිය සහ ඔහුට ආදරය කළ රසිකයින් තවමත් සොවින්.
කෙසේ වෙතත් ඔහුගේ මව මේ දුක තවමත් දරාගෙන සිටින්නේ පන මෙන් ආදරය කළ පුත්‍රයාගේ හදිසි වියෝවෙන් කම්පාවෙමින්. ඔහුගේ අවසන් කටයුතු අතරතුර පැවසු දේ පිළිබඳව සති අන්ත පුවත් පතක පළවූ ලිපියක කොටසක් පහතින්.
‘අතක් පයක් නොකඩා එක වේලක් බඩගින්නේ නොතියා ලොකු මහත්කළ මගේ පුතා මෙවැනි නොහික්මුණු වැඩක් කර ගනියි කියා නිකම්වත් හිතුණානම් කීයටවත් ආපහු බෝඩිමට යන්න දෙන්නෙ නෑ. මගේ ලෝකයේ රජා මට නැතිවුණා ‘යැයි පුතණුවන්ගේ වියෝව දරාගත නොහැකිව හඬාවැලපෙන මව කෙසේ සනසන්නද? මෙලොවට බිහිකළ දා පටන් අනේක දුක් විඳ සමාජයේ උතුම් මිනිසෙක් කරන්නට මවක් දරන වෙහෙස දරුවන්ට නොදැනීම මෙවැනි විපත් සියල්ලටම මුල වෙයි.
‘දසුන් පුතා මට හරිම ආඩම්බරයක්.කුඩා කාලයේ පටන්ම ඉගෙනුමට වගේම බාහිර වැඩවලටත් හරිම දක්ෂයි. අපි මහනුවර අස්ගිරියෙ පදිංචිව සිටින කාලෙ නුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට තමයි පුතා පාසල් ගියේ. පසුව ගම්පහ වේවැල්දෙණියට පදිංචියට ඒමත් සමගම මීරිගම කණිෂ්ඨ විද්‍යාලයටත් පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයටත් ගියා. පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්.උපාධිය ලැබූවත් රඟපෑමට තිබූ අසාව නිසා රැකියාවකට ගියේ නෑ.
කුඩා කාලෙ ඉඳන්ම පුදුම ආසාවක් තිබුණේ රංගන ශිල්පියෙක් වෙන්න. ඒ නිසාමයි ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගත්තෙ නැත්තෙ. සාමාන්‍ය පෙළ කරන කාලෙ සිට දැන හඳුනාගත් තරුණියක් සමග අවුරුදු 13ක් ආදරයකර පසුගිය කාලයේ විවාහ ගිවිස ගත්තා. මම දන්න තරමින් ඒ දුවත් සමග පුතා සතුටින් සිටියා. ඒත් ටික කලක සිට පුතාට විවාහ උත්සවයක් ගන්න වුවමනාවක් තිබුණේ නෑ.දසුන්ගේ තාත්තා කැනඩාවෙ රැකියාව කරන්නෙ දරුවන් කුඩා කාලයේ සිටමයි.
මම මෙහෙ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉන්න එකම මල්ලී ජාත්‍යන්තර පාසලක උසස් පෙළ හදාරනවා. . වෙනදා වගේ වැඩිය කතා බහක් තිබුණේ නෑ. කල්පනාවෙන්ම කාලය ගත කළා. ගෙදරින් යන විටත් මල්ලිගෙ මූණ ඉඹලා අම්මව හොඳට බලාගන්න, මොනව හරි අඩුපාඩුවක් තිබෙනවනම් කියන්න කියලා තමයි ගිහින් තියෙන්නෙ. අලුතෙන් ඉදිකරගෙන යන නිවසේ ඉදිකිරීම් අවසන්කර ගැනීමට නොහැකිවීම ගැනත් පුතා හිටියේ දුකෙන්. අම්මෙ මේ දවස්වල සල්ලි නැහැ සල්ලි හොයාගෙන ගෙයි ඉතිරි වැඩ කරමු කීවා. හැමෝටම හොඳ මග යන්න පාර කියන පුතා මෙතරම් හීන ගොඩක් නැතිකරගෙන අපිව දාලා යයි කියල හීනෙන් හරි හිතුණා නම් ආපහු බෝඩිමට යන්න දෙන්නෙ නෑ”
මගේ පුතා මත් පෙති ගන්නවා, කාන්තාවන් පසු පස ගියා කියලා චෝදනා කරනවා. මම වගකීමෙන් කියනවා මගේ පුතා එහෙම කෙනෙක් නෙමේ.


















