මොරටුව – පිටකොටුව අතර ධාවනය වන පෞද්ගලික මගී බස් රථයක් මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී මාර්ගය බෙදා වෙන්කරන තීරුවේ තිබූ විශාල ගසක ගැටී සිදුවූ රිය අනතුරකින් බස් රථ රියැදුරකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කෙරුණා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ රියැදුරු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානය කර සිටි බවයි වාර්තා වුණේ.
එම බස් රථය විශාල ගසක ගැටී නැවත මාර්ගයේ වම්පසට ධාවනය වී ඒ ආසන්නයේ තිබූ විදුලි උපකරණ වෙළෙඳසලක ඉදිරිපස නාමපුවරුවක ගැටී නතර වී තිබූ බවද පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීහු නොසිටි බව සදහන්.
අදාළ බස් රථ රියැදුරා රත්මලානේ සිට මොරටුව බස් නැවතුම්පළ වෙත බස් රථය රැගෙන යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි හෙළි වූ බවද පොලිසිය සදහන් කළා.
බස් රථයේ රියැදුරු අයිස් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර බසය පදවා ඇති අතර බසයේ මගීන් සිටියේ නම් මගී ජීවිත රැසක් හානියට පත්වීමට ඉඩ තිබූ බවද පොලිසිය පවසනවා.
අනතුරින් බස් රථයේ ඉදිරිපස දකුණුපස දොර ප්‍රදේශයට දැඩි හානි සිදුවී තිබුණා.
මේ පිළිබදව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතාගෙන් විමසූ විට කියාසිටියේ බස් රථයේ රියැදුරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවයි.
එහිදී ඔහු වරදක් කර ඇති බවට සනාථ වුවහොත් ඔහුගේ බස් ධාවන ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඔහු පවසනවා.
බස් රථ රියැදුරන් විනීතව බස් රථ පැදවීම තුළින් මගී ජීවත ආරක්ෂා කරගත හැකි බවයි සභාපතිවරයා පවසන්නේ.



















