කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (11) ප්‍රකාශ කළේ, රජයේ නිවාසවල රැඳී සිටි හිටපු ජනාධිපතිවරුන්, ඔවුන්ව ඉවත් කිරීමට පනතක් සම්මත කිරීමට පෙර තමන්ගේ ආත්ම ගෞරවය රැකගනිමින් එම නිවාස හැර යා යුතුව තිබූ බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් ලැජ්ජාවට පත්විය යුතු බවත්, දැන් ඔවුන් ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට විවිධ කතන්දර ගෙතමින් සිටින බවත්ය. මෙම ප්‍රකාශය ඔහු සිදු කළේ ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.
“මහින්ද ගෙදර යනකොට වන්දනාවේ යනවා වගේ මිනිස්සු යනවා දැක්කා. “අපිට යන්න කිව්වා කියලා මහින්දත් කියනවා. හරි නම් ලැජ්ජ වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන,චන්ද්‍රිකා බණ්ඩාරනායක, හේමා ප්‍රේමදාස එළියට දැම්මේ පාර්ලිමේන්තුවෙන්. එහෙම එළියට දාන්න කලින් යන්න තිබුණේ.
ඒගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕන. මහජන ධනය මංකොල්ල කාලා, විනාශ කරලා හිටියේ. ඒගොල්ලන්ට විශ්‍රාම වැටුප නැති කරල නෑ. ආරක්ෂාව නැති කරල නෑ.
හැබැයි අනීතික විදියට ඉඳලා රටේ ජනතාවගේ බදු සල්ලි කොල්ල කාලා යන්න වුනාම ජනතාවගේ අනුකම්පාව ගන්න “අපට යන්න කිව්වා. යන්න තැනක් නෑ. මැද මුලනට හරි යනවා” කියලා කියනවා. ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒගොල්ලෝ අනීතිකව හිටපු වග ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඔප්පු කළා.ඒ තීන්දුවට හිස නමන්න ඕන.




















