BREAKING NEWS
Search

තවම මගෙන් හරි හැටි වැඩක් අරගෙන නැහැ – ලංකාවේ ලස්සනම නිළිය කියන කතාව

1566

ෂෙහානි කහඳවල කියන්නේ බොහෝ දෙනෙකුගේ නෙත් ඇය වෙත නතු කරගත් සුන්දර නිළියක්. මෑත කාලයේ දී නම් බොහෝ නිර්මාණවලින් දකින්න නොලැබුණත් තාමත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන රංගන ශිල්පිණියක්. ෂෙහානි පසුගියදා අලුත් සින්දුවකුත් කළා.

මුලින්ම අපි කතා කරමු ඔබ ගැයූ අලුත්ම ගීතය ‘කෝලම්‘ගැන?

මුළු ලංකාවේම ඕඩියන්ස් එක ආස හිතෙන විදියේ ටැමිල් සිංහල එකතුවකින් කරපු වෙනස් විදියේ වැඩක්. මෙහි ප්‍රධාන ආටිස් වුණේ ක්‍රිෂ් මනෝජ්. මට මේ වැඩේට කතා කළේ සහ සින්දුව කළේ චමත් සංගීත්. මම හරිම ආසාවෙන් කරපු වැඩක්. ඔන් ටයිම් හැමදේම වුණා. මේ විදියට මාව කවුරුත් දැකලා තිබ්බේ නැහැ. ඒ නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.‍

මේ කාලයේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ සංගීතයට ද?

ඔව්… අමතර වැඩවලට වැඩි ඉඩක් නොදී සංගීතය පැත්තට වැඩි ඉඩක් දීලා කටයුතු කරගෙන යනවා. මම කාලයක් වැඩ නොකර හිටියා. නමුත් මම හිතනවා මගේ වැඩවලට හරියටම අවධානය දීලා වැඩ කරන්න හොඳම කාලය තමයි මේ කාලය.

රංගන ශිල්පිණියන් ගායිකාවන් වීම ඇතැම් අය යම් දෝෂදර්ශනයකටත් ලක් කරලා තියෙනවා, ඒ ගැන ෂෙහානි අදහසක් දෙනවද?

එහෙම කියන අය සමහර වෙලාවට මාව දවස් දෙකකට හමුවෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම මට අකමැති හෝ ඉරිසියාව නිසා දානවා වෙන්න පුළුවන්. ඔයාට තියෙන හැකියාවන් නෙවෙයි මට තියෙන්නේ. ඒ නිසා හැමෝටම විවිධ මත තියෙන්න පුළුවන්. ඒවාට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. කවුරු කොහොම කිව්වත් හොඳ දෙයක් නම් මම ගන්නවා. නරක දෙයක් නම් මම ගන්නේ නැහැ. මගේ ගමනේ දී මට අවධානය යොමු කරලා මම වැඩ ටික කරගෙන ඉන්නවා. එහෙම නැතුව ඔය දේවල්වලට අවධානය දෙන්න ගියොත් මගේ වැඩ අතපසු වෙන්න පුළුවන්. මට ඕනේ කවදා හරි දවසක ෂෙහානි කහඳවලට වැඩි වටිනාකමක් දෙන්න.

මේ කාලේ රංගන කටයුතු කොහොමද?

පසුගිය කාලේ මම කෙටි එපිසෝඩ් ප්‍රමාණයක නාට්‍යයකට දායක වුණා. ඉදිරියේදීත් එවැනි කෙටි එපිසෝඩ් නාට්‍යයක් විකාශය වෙන්න නියමිතයි. තවම විකාශනය වන දින ගැන හරි හැටි කියන්න නම් දන්නේ නැහැ.

සිනමාවෙන් ‘මෝඩ තරිඳු‘ එන නිසා ඒ ගැනත් මතක් කරමු?

තිසර ඉඹුලානගේ දෙවන සිනමා නිර්මාණය තමයි ‘මෝඩ තරිඳු‘. ඒ එක්කම මම හරියටම චරිතයකින් දායක වුණු සිනමා නිර්මාණය ‘මෝඩ තරිඳු‘ කිව්වොත් වඩාත් නිවැරදියි. මගේ චරිතේ ‘සොෆියා‘. තිසර මට ඒ චරිතේ ගැන ලස්සනට පැහැදිලි කළා. රෙද්දේ හැට්ටේ අඳින ‘සොෆියා‘ කියන්නේ වෙනස්ම චරිතයක්. ඒනිසා ඒ චරිතේ ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳ ගනී කියලා මම විශ්වාස කරනවා. දැනට මම චරිතේ ගැන වැඩි විස්තර නොකියා ඉන්නම්. ළඟදීම රිදී තිරයෙන් දැක ගන්න ලැබෙයි. ‘මෝඩ තරිඳු‘ කණ්ඩායමම ආදරෙන් මතක් කරනවා මේ මොහොතේ ඒ හැමෝම මට ‘සොෆියා‘ සාර්ථකව ගොඩනඟන්න සහාය වුණා.

චරිත තෝරා ගනිද්දී මොනවද බලන්නේ?

එහෙමම මම හිතලා නැහැ. මෙතෙක් කාලය තුළ ලස්සන නිර්මාණ කරලා තියෙනවා. හැබැයි මට හිතෙනවා තවම මගෙන් හරි හැටි වැඩක් අරගෙන නැහැ කියලා. ඒ නිසා ලස්සන නිර්මාණයකට ඇරයුම් ආවොත් භාර ගන්නවා. ඒ හැරෙන්න මම ආසාවෙන් සියලුම අවධානය දීලා තියෙන්නේ සංගීතය පැත්තට.

මුලින්ම ආස කළේ නිළියක් වෙන්නද ගායිකාවක් වෙන්න ද?

එහෙම දෙයක් නෙවෙයි මුලින්ම තිබුණේ. මුලින්ම ආස වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් කොහොම හරි වෙන්න තියෙන දේ වෙනවා කියනවා වගේ මේ පැත්තට යොමු වුණා. මම දැනගෙන හිටියේ නැහැ මම නිවේදිකාවක් වෙයිද, නිළියක් වෙයිද නර්තන ශිල්පිනියක් වෙයිද ගායිකාවක් වෙයිද කියලා. නමුත් අද වෙද්දී මට ඒ හැම අංශයකම දොරටු ඇරුණා. මම දැනගෙන හිටියා ඒ හැමදේම කරන්න ආභාෂය තියෙනවා කියන එක. මට ඕනේ වුණේ මගේ ඒ හැකියාවන් වැඩි දියුණු කර ගන්න එක විතරයි.

ආපස්සට හැරිලා බලද්දී කලා ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

මම කලාවට ඇවිත් දැන් අවුරුදු 14ක් වෙනවා. අදටත් මට මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරව ඉන්න ලැබීම ගැන මම අවංකවම සතුටු වෙනවා. ඉදිරියටත් මේ ආදරේ තියා ගන්න මම උත්සාහ කරනවා. ඉස්සරහටත් මගේ වැඩ එන්න තියෙනවා. ඒ නිසා ආදරෙන් ඉන්න. මමත් ආදරෙයි හැමෝටම.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *