BREAKING NEWS
Search

ජනාධිපති මන්දිර පහක් නිවාඩු නිකේතන කරයි

252

නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ප්‍රදේශ වල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුව පහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකදීය.

ජනාධිපති කාර්යාලයේදී අද (29) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බව කී ජනාධිපතිවරයා  රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපාය මාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බව සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී දැනට පවතින අඩුපාඩු සහ අභියෝග පිළිබඳව ව්‍යාපාරිකයන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ අතර, සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වූ යෝජනා ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරිකයන්ට ඇරයුම් කළේය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ  මහත්වරු සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ පාර්ශ්වකරුවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *