නිදන් හෑරීමක් සම්බන්ධයෙන් ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ඇතුළු පස් දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදුවන බව පොලිසිය පවසනවා.
සිද්ධිය දුටු බව කියන ළමයින් පිරිසකගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් සිදු වන බව පොලිසිය කියනවා.
ඊයේ (23)පස්වරුවේ ළමයින් පිරිසක් එම නිදන් හෑරූ බව කියන ඉඩමේ සරුංගල් යවමින් සිට ඇති අතර එම ස්ථානයට වයස අවුරුදු 17 ක පමණ ගැහැණු ළමයෙකු රැගෙන එන දුටු බවත් එම ළමයාගේ බෙල්ලට පිහියක් තබා ගෙන සිටිනු දුටු බවත් ළමයින් පොලිසියට පවසා තිබෙනවා.
එම සාක්ෂි මත පදනම්ව නිදන් හෑරීමට බිල්ලක් ලෙස ගැහැණු ළමයකු යොදා ගත්තාද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙනවා.
නිදන් ගැනීමට සූදානම් වූ බව කියන ස්ථානයේ කුකුළකු බැඳ තබා සිටියදී සොයාගෙන තිබෙනවා. පිදේනි තටු, දුම්මල, සාම්බ්‍රානි, ජෙනරේටර් දෙකක්, කඩුවක්, පිහි, ගෙජ්ජි, පහන් පැළ, තැඹිලි, පුහුල් ආදී ද්‍රව්‍ය රැසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ වන විට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ සම්බන්ධ නිල සුනඛ ඇලිස්කා මෙම ස්ථානයට ගෙන්වා යම් අපරාධයක් සිදුවී ඇත්දැයි පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.
නමුත් මේ වන තෙක් පරීක්ෂණ කළද මෙම ස්ථානයේ බිලි දීමක් කළ බවට සලකුණු හෝ ගැහැණු ළමයෙකු සොයා ගැනීමට හැකිවී නෑ.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න ගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරත් විමර්ශන සිදු කෙරෙනවා.
















