ල්ලි උඹ මේ වැඩේ හරියටම කරලා දෙන්න ඕනෙ – බනා මන්ත්‍රී එලොව යැවූ වෙඩිල්ල ගැන එලියට ආ සම්පුර්ණ කතාව මෙන්න

1777

මේ වනවිට පාතාල කල්ලි නායකයන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් බවට පත්ව සිටින ලලිත් කන්නංගර සහ හෝමාගම හඳයා අතර පවතින්නේ බද්ධ වෛරයකි. ඒ වෛරයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මහාපරිමාණ කප්පම් ලබාගැනීම සම්බන්ධයෙන් පවතින ආරවුල්ය.

හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මීගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ලලියා සහ හඳයා දෙපාර්ශ්වය මේ මහා අපරාධ සිදුකිරීම නිසා මොවුන්ට පාතාල ආධිපත්‍ය බෙදා ගැනීම පිළිබඳව ද ඇත්තේ විශාල තරගයකි.

ලලිත් කන්නංගර හෙවත් බස් ලලියා සහ හෝමාගම හඳයා සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. මිනීමැරීම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු මේ සියලු අපරාධ මොවුන් විසින් සිදු කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිටය.

මේ පාපතරයන් දෙදෙනා ඩුබායි රාජ්‍යයට වී සුර සැප විඳිද්දී හෝමාගම, හංවැල්ල, පාදුක්ක, මීගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව මෙන්ම තරුණ පෙළ අද සිටින්නේ දැඩි භීතියකින් යුතුවය. ඒ මේ පාතාල මැරයන් ගෙන යන පාතාල භීෂණය නිසාය.

මේ පාතාල මැරයන් දෙදෙනා අතර පවතින ආරවුල් මිනිස් ඝාතන පෙළක් දක්වා දුරදිග ගොස් හමාරය. තම පාතාල ආධිපත්‍ය ව්‍යාප්ත කරගෙන අහිංසක මිනිසුන්, ව්‍යාපාරිකයන්, ධනවතුන් භීතියට පත් කරගෙන තම අවශ්‍යතා මුදුන් පමුණුවා ගන්නට ලලිත් කන්නංගර සිදුකළ මිනිස් ඝාතන රැසකි.

පසුගිය 12 වැනිදා මීගොඩ දී සිදුවන්නේ ද එවැනිම වූ අපරාධයකි. හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මීගොඩ ආටිගල පාරේ දී මහ දවල් වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහු සමග පැවැති ආරවුලක් සහ බස් ලලියාව තම පාතාල භීෂණය පතුරුවාලීමේ අරමුණු ඇතිවය. ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී ඝාතනයේ මහ මොළකරු වන බස් ලලියා මේ ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ මහර බන්ධනාගාරයේ රඳවා සිටින තම කල්ලියේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු වෙතය.

පොලොන්නරුවේ සුද්දා සහ ආමි සම්පත් කාලයක සිට බස් ලලියාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයන් වූහ. කොල්ලකෑම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී සිටින මේ අපරාධකාරයන් දෙදෙනා මහර බන්ධනාගාරයේ රඳවා සිටින්නේ මාස ගණනක සිටය. ඒ කොල්ලකෑමක් සම්බන්ධයෙන්ය.

බන්ධනාගාරයේ රඳවා සිටියද මොවුන් දෙදෙනා ජංගම දුරකථන පහසුකම් ලබාගෙන ලෝකය පුරාම සිය සම්බන්ධතා පවත්වාගෙන ගියේ මහර බන්ධනාගාරයේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහාය ලබාගෙනය. ඩුබායි සිටින බස් ලලියා මහර බන්ධනාගාරය වෙත දිනපතාම ඇමැතුම් ලබාගත්තේය. ඒ සුද්දා සහ ආමි සම්පත් සමග විවිධ අපරාධ සඳහා සාකච්ඡා කිරීමටය.

“සුද්දා උඹයි සම්පතයයි එකතුවෙලා මට හැමදාම සපෝර්ට් කරනවානේ. මට ලොකු වැඩක් තියෙනවා කරගන්න. මේ වැඩෙත් හරියටම කරලා දීපල්ලා. උඹලගෙ හැම ඕනෙ එපාකමක්ම මම බලනවනේ…” බස් ලලියා කීවේය.

“හරි…. හරි ලලිත් අයියා අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවනේ. ඕනෙම දෙයක් කියන්න. අපි ඇතුළෙ හිටිය කියලා නැහැ ඕනෙ දෙයක් අපට කරන්න පුළුවන්. “පොලොන්නරුවේ සුද්දා ලලියාට ප්‍රතිචාර දැක්වූවේය.

බනා මන්ත්‍රී ඝාතන කොන්ත්‍රාත්තුව සුද්දාට

“බනා මන්ත්‍රීගෙන් මට හරි කරදරයි. මට ඕනෙ මිනිහව අයින් කරලා දාන්න. යන වියදම් සේරම දෙන්නම් වෙපන් එකකුයි ෂූටයි ලෑස්ති කරලා දෙන්නම් මට මේ වැඩේ කරවලා දීපල්ලා…”

බස් ලලියා සිය පාතාල කල්ලියේ විශ්වාසවන්තම සගයන් දෙදෙනාට කීවේය.

‘හරි හරි ලොක්කා, කිසිදේකට බය වෙන්න එපා. අපි ඒ සේරම ලෑස්ති කරන්නම්. සල්ලි ටිකක් විසි කරන්න වෙයි. ඉතිරි හරිය අපි කරන්නම්.

හඳයා මෙන්ම ආමි සම්පත් ද බස් ලලියාට පොරොන්දු වුණේය.

ශාන්ත මුදුන්කොටවු 46 වැනි වියේ පසුවූ බොහොම ප්‍රියමනාප පුද්ගලයෙකි. ‘බනා’ යන නාමය ශාන්ත මුදුන්කොටුවට ලැබෙන්නේ කුඩා කල සිටමය. හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වීමෙන් පසු ඔහු ‘බනා මන්ත්‍රී’ ලෙස කා අතරත් ප්‍රසිද්ධ වුණේය.

දේශපාලනඥයකු වූ නිසා ‘බනා මන්ත්‍රී’ ජාති භේද, කුල භේද, ආගම් භේද නොසලකමින් පොදුවේ හැම පුද්ගලයකුම ඇසුරු කළේය. ඒ වනවිට මීගොඩ, හෝමාගම, හංවැල්ල, පාදුක්ක ඇතුළු ප්‍රදේශ ගණනාවක් පුරා පාතාල භීෂණය වපුරුවාගෙන සිටින ලලිත් කන්නංගර හෙවත් බස් ලලියා සහ හෝමාගම හඳයා ද බනා මන්ත්‍රීගේ මිතුරන් වූහ.

බස් ලලියා සහ හඳයා මෙරට සිටියදී ඔවුන් සමීපව ඇසුරු කළ බනා මන්ත්‍රී ඔවුන් රටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදීත් ඒ සබඳතාවය ඒ අයුරින්ම පවත්වාගෙන ගියේය. මොවුන් සමීපව ඇසුරු කළද බනා මන්ත්‍රී අපරාධ ලෝකය පැත්තටවත් ගියේ නැත. එහෙත් බනා මන්ත්‍රීගේ මස්සිනා එහෙමත් නැත්නම් ඔහුගේ නැඟණිය සමග විවාහ වී සිටි ‘ගගන’ නමැත්තා මහා පාතාල අපරාධකරුවකු විය.

ගගන කොස්ගොඩ තාරකගේ සමීපතම හිතවතකු විය. කොස්ගොඩ තාරක යනු කිසිම අණක් ගුණක් නැති මිනිස්කමක් හඳුනන්නේම නැති පාපතරයෙකි. මීට වසර කිහිපයකට උඩදී කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරකින් අවසන් ගමන් ගියේය.

කොස්ගොඩ තාරක සමග එක්වී ගගන අපරාධ රැසක් කළේය. ගගන වැඩිපුර සම්බන්ධ වුණේ මංකොල්ලකෑම්වලටය. මාතර නිලේකා ජුවලර්ස් කොල්ලය, බැංකු මංකොල්ල මෙන්ම තවත් කොල්ලකෑම් රැසක් ඉදිරියේ ගගනගේ නම කියැවුණේය.

පන්නිපිටිය අරලිය උයනේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු යතුරුපැදියේ නන්වාගෙන යන්නේ ගගන විසින්ය. මේ අපරාධ සම්බන්ධයෙන් ගගන කලක් බන්ධනාගාරගතව සිටියේය.

කොස්ගොඩ තාරක මරුමුවට පත්වීමෙන් පසු ගගන හොර රහසේම ඩුබායි රාජ්‍යයට පළා යන්නේ තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහාය. ගගන ඒ ආකාරයේ අපරාධකාරයෙක් වුවද බනා මන්ත්‍රී ඉදිරියේ කිසිදු අපරාධ චෝදනාවක් තිබුණේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග වැදී ඔහු වරක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වුණේය.

මීගොඩ නගරය ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් පෝෂණය වූ නගරයකි. සීට්ටුවලට අවශ්‍ය කරන ඕනෑම භාණ්ඩයක් තොග වශයෙන් අඩු මුදලට ලබා ගැනීමට රට පුරා බොහෝ දෙනකු ආවේ මීගොඩටය.

මහා පරිමාණ හාඩ්වෙයාර් මෙන්ම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කළේද ධනවත් ව්‍යාපාරිකයන්ය. මීගොඩ නගරයේ ධනවත් හැම ව්‍යාපාරිකයකුම පාහේ බනා මන්ත්‍රී සමීපව ඇසුරු කළහ. ඔවුන්ට අවශ්‍ය උපකාර කර දෙන්නට ඉදිරිපත් වුණේ තම දේශපාලන හයිය උපයෝගී කරගෙනය.

මීගොඩ ධනවත් ව්‍යාපාරිකයන්ට බස් ලලියාගෙන් කිසිම ගැලවීමක් තිබුණේ නැත. බස් ලලියා ඔවුන්ට මරණීය තර්ජන එල්ල කරමින් මාසිකව කප්පම් මුදල් ඉල්ලා සිටියේය. ව්‍යාපාරයේ ආදායම් උපයන හැටියට බස් ලලියාගේ කප්පම් මුදල වෙනස් වෙයි.

ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ලක්‍ෂ 50-100 කප්පම් මුදල් ලබාගැනීමට බස් ලලියා උත්සාහ කළේය. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මහා චණ්ඩියකු ලෙස රඟන මේ බස් ලලියා හංවැල්ල කොළඹ මාර්ගයේ බස් රථයක කොන්දොස්තරවරයකු විය. ඇඹිලිපිටිය ග්‍රාමයේ උපත ලැබූ ලලිත් කන්නංගර ගමටම එපා වූ චරිතයක් විය. කාන්තා ලෝලියකු වූ ලලිත් කන්නංගර ඇඹිලිපිටියේ ගමේ ජනතාව පහර දී පන්නා දමන්නේ ප්‍රදේශයේ කාන්තාවන්ට දිගින් දිගටම මොහුගෙන් ලබන්නට සිදුවූ තිරිසන් ලිංගික හිංසනයන් නිසාය.

රැකියාවක් සොයමින් හංවැල්ලට ආ ලලිත් කන්නංගර බස් රථයක කොන්දොස්තර රැකියාව ලබා ගත්තේය. ඒ තාවකාලික පදනම මතය. හරියටම රැකියාවක් නොමැතිව නන්නත්තාර වී සිටි ලලිත් කන්නංගරට උදව් කරන්න ඉදිරිපත් වුණේ හංවැල්ලේ බස් ව්‍යාපාරිකයකු වූ වජිර නිශාන්තය. ලලිත් කන්නංගර ගැන ඇති වූ අනුකම්පාව නිසා ඔහුට කොන්දොස්තරවරයකු වීමට අවශ්‍ය ලයිෂන් එක ගැනීමට උපකාර කළ වජිර නිශාන්ත බරවාහන රියැදුරු බලපත්‍රය ද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර දුන්නේය.

එතැනින් නොනැවතී සිය නිවසේ නතර කරගෙන ලලිත් කන්නංගරගේ ජීවිතය යහපත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු කර දීමට වජිර නිශාන්ත කටයුතු කළේය. එහෙත් කන්න දුන්න අත සපා කෑමට තරම් පාපතරයකු වීමට ලලිත් කන්නංගරට ඒ හැටි කාලයක් ගත වුණේ නැත. පසු කලෙක හංවැල්ලේ පාතාල කෙරුමකු වූ ලලිත් කන්නංගර ඩුබායි රාජ්‍යයට පලා ගියේය. ඔහු ඩුබායි සිට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කර කප්පම් ගැනීම ජයට ම කරගෙන යන්නට පටන් ගත්තේය.

මේ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ලලිත් කන්නංගර තම දෙවැනි පියා බඳුවූ වජිර නිශාන්ත මරා දැමීමට තීරණය කළේය.

සිය පාතාල කල්ලි සගයන් යොදාගෙන වජිර නිශාන්ත නිවසේ සිටිය දීම ඔහුව වෙඩි තබා ඝාතනය කරන්නට තරම් මේ පාපතරයා කුරිරු පුද්ගලයකු විය.

“කන්න බොන්න දීලා හදාගත්ත වජිරවත් ඌ මැරුවානම් අපි ගැන මොන කතාද” යනුවෙන් හංවැල්ලේ ව්‍යාපාරිකයන් තුළ භීතියක් ඇති කිරීම ලලත් කන්නංගරගේ අරමුණ විය.

මේ පාපතරයාගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම සාර්ථක විය. හංවැල්ලේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් ලලිත් කන්නංගරට බයේ ව්‍යාපාර අතහැර වෙනත් පළාත්වලට පළා ගියේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහා ය.

එසේ නොගොස් ඉතිරිවූ ව්‍යාපාරිකයන් වැඩි දෙනෙක් ලලිත් කන්නංගරට මාසිකව කප්පම් මුදල් ලබාදී ජීවිත ආරක්‍ෂා කරගෙන සිය ව්‍යාපාර කරගෙන ගියෝය.

මීගොඩ සිදුවන්නේ ද හංවැල්ලේ සිදුවූ ආකාරයේම ක්‍රියාදාමයකි.

මීගොඩ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ඉල්ලා සිටිය ද ලලිත් කන්නංගරට බලාපොරොත්තු වූ තරම් මුදලක් ඔහුට ලැබුණේ නැත.

ඊට ප්‍රධානම හේතුව වූයේ බනා මන්ත්‍රීය. ලලිත් කන්නංගර කප්පම් මුදල් ඉල්ලා සිටින හැම ධනවත් ව්‍යාපාරිකයකුම බනා මන්ත්‍රීගේ සමීප මිතුරකු විය.

ව්‍යාපාරිකයන් කප්පම්වලින් බේරා ගනී

ලලිත් කන්නංගර හෙවත් බස් ලලියා කප්පම් මුදල් ඉල්ලා සිටි දිනට පසු දිනම ඔහුට බනා මන්ත්‍රීගෙන් ඇමැතුමක් ලැබිණි.

“ලලිත් මචං උඹ අර මනුස්සයගෙන් සල්ලි ඉල්ලන්න එපා. මිනිහා මේ දවස්වල අමාරුවෙන් ඉන්නෙ. ඌට කරදර කරන්න එපා.

බනා මන්ත්‍රීගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා බස් ලලියා ඔහු කියූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදල් ලබාගැනීම අතහැර දැමුවේය. මේ ආකාරයට මීගොඩ බොහෝ ව්‍යාපාරිකයන් බස් ලලියාගේ කප්පම් උගුලෙන් බේරා ගන්නට බනා මන්ත්‍රීට හැකි විය.

බනා මන්ත්‍රීගේ මේ ක්‍රියාකලාපය බස් ලලියාට මහා හිසරදයක් විය. ඔහුගේ කප්පම් ආදායම දිනෙන් දිනම පහළ වැටෙන්නට විය. එමෙන්ම බනා මන්ත්‍රී මේ ව්‍යාපාරිකයන් කප්පම්වලින් බේරා ගැනීම හරහා වෙනත් ගේමක් ගසන බව ලලියාට සැලවුණේ ය. ඔහු එහි සත්‍ය අසත්‍ය සොයා බලා නිරවද්‍යතාව තහවුරු කර ගත්තේය. බනා මන්ත්‍රීට මරණ වරෙන්තු නිකුත් වන්නේ ඉන් පසුවය. බස් ලලියා තම සමීපතම පාතාල සගයන් දෙදෙනා වන පොලොන්නරුවේ සුද්දා සහ ආමි සම්පත් සමග මේ ඝාතන සැලසුම දිගින් දිගටම සාකච්ඡා කළේය.

බනා මන්ත්‍රී නිසා මීගොඩ එකෙක්වත් මට කප්පම් දෙන්නෙ නැහැ. මං කාගෙන් හරි සල්ලි ඉල්ලුවාම පහුවදා උදේම බනා මන්ත්‍රී මට කෝල් කරනවා. එහෙම කරලා මං කප්පම් ඉල්ලපු බිස්නස්කාරයාගේ දුක කියනවා. මිනිහව ෂේප් කරලා දෙන්න කියනවා.

සෑහෙන කාලයක් මිනිහා ඔය වැඩේ කළා. මං අන්තිමේදී හොයලා බැලුවා මිනිහා මොකක්ද මේ නටන නාඩගම කියලා. මිනිහා මට කතා කරලා කප්පම් ඉල්ලන එක ෂේප් කරලා ඒ බිස්නස්කාරයන්ගෙන් ගාණක් කඩා ගන්නවා. ඔය විදිහට සෑහෙන කාලයක් මිනිහා මේ වැඩේ කරලා තියෙනවා. පොඩි ගණන් නෙවෙයි ලක්ෂ 5 -10 අරන් තියනවා. ලලිත් කන්නංගර හෙවත් බස් ලලියා සිය ගෝලයන්ට කීවේය. බනා මන්ත්‍රී මහ ජරා වැඩක්නෙ කරලා තියෙන්නෙ. අනිවාර්යයෙන්ම මිනිහට පාඩමක් උගන්වන්න ඕනේ.

පොලොන්නරුවේ සුද්දා බස් ලලියාගේ යෝජනාවට සහ සැලසුමට සම්පූර්ණ එකඟතාව පළ කළේය.

මීගොඩ බිස්නස්කාරයන්ට උණ ගැනෙන වැඩක් කරන්න ඕනේ. එතකොට උන් මගේ පස්සෙ එනවා වැඳ වැටි වැටී සල්ලි අරන්,
බස් ලලියා කීවේය. එය හංවැල්ලේ ව්‍යාපාරිකයන්ට දුන් ආකාරයේම තර්ජනයක් විය.

“ලලිත් අයියේ මේ වැඩේ අපේ දමිත්ට භාර දෙමු. මිනිහා අපි දීපු වැඩ හැම එකක්ම වගේ හරියට කළානේ. මම මිනිහා එක්ක ගාණක් කතා කරගෙන කෝල් එක්ක දෙන්නම්”

පොලොන්නරුවෙ සුද්දා බස් ලලියාට කීවේය. දමිත් යනු මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූ තරුණයෙකි. බස් ලලියාගේ පාතාල කල්ලියට කෙලින්ම සම්බන්ධ නොවුව ද පොලොන්නරුවේ සුද්දා හරහා ලැබුණු අපරාධ කොන්ත්‍රාත් ගණනාවක් දමිත් විසින් සිදු කළේය.

පොලොන්නරුවේ සුද්දාගේ ඥාති සොහොයුරකු වන දමිත් බනා මන්ත්‍රී ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා සම්බන්ධ වුණේය.

“දමිත් මල්ලි උඹ මේ වැඩේ හරියටම කරලා දෙන්න ඕනෙ. ලලිත් අයියට කියලා ලක්ෂ එකහමාරක් විතර උඹට අරගෙන දෙන්නම්. වැඩේ හරියට කරලා දීපන්. උඹට ඕන කරන කුඩු පැකට් ටිකකුත් ලැබෙන්න සලස්වන්නම්”

පොලොන්නරුවේ සුද්දා සිය ඥාති සොහොයුරකු වන දමිත්ට කීවේය.

මත්ද්‍රව්‍ය පානයට මුදල් නොමැතිව දස අතේ කල්පනා කරමින් සිටි දමිත් ඒ යෝජනාවට එකපයින් කැමති වුණේය. කොස්ගමදී කොටහැර පොඩ්ඩා ඝාතනය සඳහා කුලී ඝාතකයා සමග යතුරුපැදිය පදවාගෙන යන්නේ දමිත් විසින්ය. ඒ බස් ලලියාගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුවූ මිනිස් ඝාතනයක් සඳහාය.

ඊට අමතරව පොලොන්නරුවේ සුද්දා මෙහෙය වූ මංකොල්ල ගණනාවක වාහනය පැදවීමේ කාර්ය භාර කෙරුණේ දමිත් වෙතය.

මීට සති කීපයකට උඩදී කොල්ලුපිටියේ රාත්‍රි සමාජ ශාලාවකදී දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයාගේ සොහොයුරු වන දෙමටගොඩ රුවන් මරා දැමීමට පැමිණෙන්නේ ද දමිත් සහ තවත් පාතාල කුලී ඝාතකයෙකි.

එවර දමිත්ගේ කුරුමානම වැරදෙන්නේ දෙමටගොඩ රුවන් ඒ සමාජ ශාලාවට නොපැමිණි නිසාය.

බනා මන්ත්‍රී ඝාතනයේ කොන්ත්‍රාත්තුව දමිත්ට ලැබෙන්නේ ඔය ආකාරයටය. බනා මන්ත්‍රී යන එන ආකාරය ඔහු පිළිබඳ සියලු විස්තර සෙවීමේ කාර්ය දින කීපයක් තිස්සේ දමිත් විසින් සිදු කළේය. බනා මන්ත්‍රී මීගොඩ ආටිගල පාරේ අවන්හලක් අලුතින් ඉදිකරමින් සිටින බවත් ඔහු නිතර නිතර එහි පැමිණෙන බවත් දමිත් සොයා ගත්තේය. ඒ වනවිට ඩුබායිහි සිටින බස් ලලියා දමිත් සමග කෙලින්ම සම්බන්ධ වෙමින් බනා මන්ත්‍රී ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියහ. ඝාතන කොන්ත්‍රාත්තුවේ අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් විසිපන් දහසක මුදලක් ද බස් ලලියා දමිත්ට ලබාදීමට කටයුතු කළේය.

“දමිත් මේ වැඩේට ඕන කරන වෙපන් එකයි ෂූටවයි මම එවනවා. උඹ වැඩේ කරන්න හරියටම දිනයක් සෙට් කරගනින්. බනා මන්ත්‍රී ආටිගල පාරේ රෙස්ට්ටොරන්ට් එක හදන තැන නිතරම ඉන්නවා. එතැනදී ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්” බස් ලලියා දමිත්ට උපදෙස් දුන්නේය.

බනා මන්ත්‍රී ඝාතනය කිරීම සඳහා කුලී වෙඩික්කරුවකු මාතර ප්‍රදේශයේ සිට මහරගමට ආවේය. ඒ බස් ලලියාගේ නියෝග මතය. කුලී ඝාතකයා සමග දමිත් මහරගම පමුණුව පාරේ හෝටලයක නවාතැන් ගත්හ. දින 4ක් තිස්සේ මේ නවාතැන් පොළේ රැඳී සිටි දමිත් සහ කුලී ඝාතකයා බනා මන්ත්‍රී පරලොව යැවීමට දිනයක් තීන්දු කරගත්හ.

අගෝස්තු 12 වැනිදා උදෑසන දමිත්ට මෙන්ම කුලී ඝාතකයාට ද ඉතාම කාර්යබහුල දිනයක් විය. එදින දහවල් බනා මන්ත්‍රී මරා දැමීමට නියම කරගෙන සිටියහ.

“අපි බනා මන්ත්‍රීව ආටිගල පාරේ තැනකට ගෙන්න ගමු. ඉන්ටලොක් ගල් අල්ලන කොන්ත්‍රාත්තුවක් මිනිහා තැනකට භාර දීලා තියනවා. මම ඒකෙ විස්තර හොයා ගත්තා. ඉන්ටලොක් ගල් බාන තැන බලාගන්න කියලා අපි බනා මන්ත්‍රීව අතරමඟට ගෙන්න ගන්නවා. එතකොට වැඩේ ලේසියෙන් කරලා දාන්න පුළුවන්”

බනා මන්ත්‍රී ඝාතනය කරන ආකාරයට අදාළ සැලසුම ගැන දමිත් බස් ලලියාට කීවේය.

“හරි මල්ලි මම තව පැයක් ඇතුළත වෙපන් එක ලෑස්ති කරනවා. මේක ඉස්තරම්ම බඩුවක්. මගේ ගෝලයා වැඩේ හරියට කරයි. ඔයාට තියෙන්නෙ බනා මල්ලි ඉන්න තැනට මිනිහව එක්කරගෙන ගිහින් එයාව පෙන්නන එක. වැඩේ කරලා වෙපන් එක ආපහු තැනකට භාර දෙන්න ඕනෙ. එතැනින් ඔයාගෙ කොන්ත්‍රාත්තුවෙ ඉතිරි ගාණත් ලැබෙයි”

බස් ලලියා දමිත්ට කීවේය.

අගෝස්තු 12 වැනිදා දහවල් දමිත් සහ කොන්ත්‍රාත් ඝාතකයා හෝටලයෙන් පිට වුණෝය. අතරමඟ දී දමිත් පැදවූ මෝටර් රථය වෙත නවීන පන්නයේ පිස්තෝලයක් ලබාදීමට බස් ලලියා කටයුතු කර තිබුණේය.

ස්වයංක්‍රීය ගිනි අවිය ද රැගෙන දමිත් සහ කුලී ඝාතකයා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නට සුදු පැහැති මෝටර් රථයෙන් ආවෝය. එතැන මෝටර් රථය නතර කරගත් දමිත් බනා මන්ත්‍රීගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තේය.

“මන්ත්‍රීතුමා අපි අර ඉන්ටලොක් අල්ලන කම්පැනියෙන් කතා කරන්නෙ. අර ගල් ටික දවල් අරගෙන එනවා. ඒවා කොහෙද බාන්නෙ කියලා අපිට පෙන්වන්න”

දමිත් ඉන්ටලොක් සවිකරන ආයතනයේ සේවකයකු ආකාරයට බනා මන්ත්‍රීට කතා කර ඔහු අතරමඟට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

“හරි හරි මල්ලි ඔය ආටිගල පාරේ මම මඟට එන්නම්. ඒ ගල් ටික ඉක්මනින් අල්ලගන්න ඕනෙ. ඕගොල්ලො එන්නකො…”

තමන් ඝාතනය කිරීමට සූදානමින් සිටින අළුගෝසුවන් ආටිගල පාරේ රැක සිටින බව නොදත් බනා මන්ත්‍රී සිය යතුරුපැදියේ නැඟී එහි ආවේය. ඒ වනවිට මහ දවල් 1.20 පසුවී තිබිණි. දමිත් මෝටර් රථය පදවාගෙන බනා මන්ත්‍රී ගමන්ගත් යතුරුපැදිය ලුහුබැන්දේය.

“ඔය බයික් එකේ යන මෑන් තමයි බනා මන්ත්‍රී. වැඩේ හරියට කරපං. මම මිනිහට කිට්ටු කරලා කාර් එක ස්ලෝ කරන්නම්”

දමිත් පාතාල කුලී ඝාතකයාට කීවේය. වේගයෙන් ආ මෝටර් රථය බනා මන්ත්‍රී ගමන්ගත් යතුරුපැදිය අසල දී වේගය බාල කළේය.

මෝටර් රථයේ සිටි පාතාල කුලී ඝාතකයා වහා ක්‍රියාත්මක වුණේය. එකවරම මෝටර් රථයෙන් පිටතට අත දැමූ ඔහු අත තිබූ නවීන පන්නයේ අවිය ක්‍රියාත්මක කළේය.

ස්වයංක්‍රීය අවියෙන් පිටවූ උණ්ඩයක් බනා මන්ත්‍රීගේ හදවත සිදුරු කරගෙන ගියේය. කුලී ඝාතකයාට එල්ල කිරීමට ලැබුණේ එක වෙඩි ප්‍රහාරයක් පමණි. කලබලය නිසා ඔහුගේ අවිය ක්‍රියාත්මක වුණේ නැත.

එහෙත් එල්ල වූ එකම වෙඩි ප්‍රහාරය බනා මන්ත්‍රී අවසන් ගමන් යැවීමට සමත් වුණේය. සිය ඉලක්කය සපුරා ගත් දමිත් සහ කුලී ඝාතකයා මෝටර් රථයේ නැඟී ආටිගල පාරේ නොපෙනී ගියෝය.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බනා මන්ත්‍රී මරුවිකල්ලෙන් මෙන් දිවයන්නට වුණේය. ආටිගලපාරේ අසල තිබූ නිවසක් වෙත ගිය බනා මන්ත්‍රී උදව් ඉල්ලා කෑගැසුවේය.

“අනේ මට වෙඩි තිබ්බා. මාව ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න”බනා මන්ත්‍රී අසල තිබූ ත්‍රිරෝද රථයකට ගොඩවීමට උත්සාහ කළද එය සාර්ථක වුණේ නැත. ඔහු එකවරම බිම ඇදවැටුණේ අවසන් හුස්ම හොඳ වාතලයට මුසු කරමින්ය.

සිය ඉලක්කය නිවැරදිවම සපුරාගත් දමිත් සහ කුලී ඝාතකයා නිරුපද්‍රිතව තලංගම ප්‍රදේශයට පලා ආහ. අතරමඟදී කුලී ඝාතකයා මෝටර් රථයෙන් බැසගත් අතර දමිත් එය පදවාගෙන බත්තරමුල්ල පාලම් 3 ප්‍රදේශය වෙත යන්නට වුණේය.

ඒ වනවිට බනා මන්ත්‍රී ඝාතනය මුළු මීගොඩම රත් වී තිබුණේය. පොලිසිය වහ වහා ක්‍රියාත්මක වුණේ මේ ඝාතනය සිදුකර පලායන කුලී ඝාතකයන් රැගත් මෝටර් රථය අල්ලා ගැනීම සඳහා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් සීසීටීවී දර්ශන ඔස්සේ කුලී ඝාතකයන් පලා යන මෝටර් රථය හඳුනා ගත්හ.

බනා මන්ත්‍රී ඝාතනය කර පැයක් ගතවීමට පෙර දමිත් රැගත් සුදු පැහැති මෝටර් රථය අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූහ.

මෝටර් රථයේ තිබී බනා මන්ත්‍රී ඝාතනයට යොදාගත් පිස්තෝලය ද ජීව උණ්ඩ 14ක් ද සොයාගත්තේය. ඊට අමතරව දමිත් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය, ක්‍රෙඩිට් කාඩ් සහ ජංගම දුරකථන 4ක් ද පොලිස් භාරයට ගත්තේය.

කෙසේවෙතත් කුලී ඝාතකයා තවමත් සිටින්නේ නිදැල්ලේය. එමෙන්ම හංවැල්ලේ ව්‍යාපාරිකයන් බිව වූ ආකාරයටම මීගොඩ ව්‍යාපාරිකයන් ද මේ වනවිට සිටින්නේ දැඩි භීතියෙන් යුතුවය. අණක් ගුණක් නැති බස් ලලියා නමැති පාපතරයා එල්ල කළ මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙට දිනයේ තමාට ද එල්ල විය හැකි බවට ඔවුන් සැක පළ කරති.

පොලිසිය මොන දේ කිව්ව ද ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් එය සාධාරණ කප්පම් නොදෙන ව්‍යාපාරිකයන් කොයි මොහොතේ බස් ලලියාගේ ඉලක්කමක් වනු ඇද්දැයි කිව නොහැක.

බනා මන්ත්‍රී ඝාතනය ගැන හෝමාගම හඳයා පසුවූයේ දැඩි වෛරයකින් යුතුවය.

බස් ලලියාගෙන් පළිගැනීමට හොඳම අවස්ථාව එය බව තේරුම්ගත් හෝමාගම හඳයා බනා මන්ත්‍රී ඝාතනයට එකට එක කිරීමක් ලෙස ලෙයට ලෙයින් පළිගැනීමට සිතුවේය.

බනා මන්ත්‍රී ඝාතනය කර පැය 24ක් ගතවීමට පෙර හෝමාගම හඳයා ක්‍රියාත්මක වුණේය. සිය පාතාල කල්ලියේ කුලී වෙඩික්කරුවන් දෙදෙනකු යොදාගෙන හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

හඳයාගේ ඉලක්කය වී තිබුණේ ලලිත් කන්නංගරගේ සමීපතමයකු වූ කන්ද උඩ ඉරේෂ් නමැත්තාය.

එහෙත් ඉරේෂ්ට දිවි ගලවා ගැනීමට හැකි වුණේය. කුලී වෙඩික්කරුවන් ඉරේෂ්ගේ නිවසට වෙඩි තබනවිට ඔහු සිටියේ නාන කාමරයේය. වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ ඉරේෂ්ගේ පියාය. පියා ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත්තේය.

පාතාල මිනිස් ඝාතනවලට නිමක් නැත. ඒ තරමටම පාතාලය මේ වනවිට බලවත් වී හමාරය.

නව පොලිස්පතිවරයා පවසන ආකාරයට මේ පාතාලය මර්දනය කිරීමට නව නීති මෙන්ම නව මෙහෙයුම් ද ආරම්භ කළ යුතුය. උණ්ඩය පාවිච්චි කරන පාතාල මැරයන්ට උණ්ඩයෙන්ම පිළිතුරු දෙන තාක්කල් මේ මිනී මැරුම්වලට විරාමයක් ලැබෙන්නේ නැත.

මේ වනවිට ශ්‍රී ලංකාව චිකාගෝවක් බවට පත්වෙමින් තිබෙයි. දිනපතාම පාහේ කොහේ හෝ තැනක පාතාල මිනී මැරුමක් සිදුවෙයි. රටේ ජනතාව මේ වනවිට සිටින්නේ දැඩි භීතයකින් යුතුවය. නිදහසේ මහ පාරේ බැස යන්නට බැරි තත්ත්වයක් උදාවෙමින් තිබෙයි. එබැවින් මේ තත්ත්වය නතර කිරීම වර්තමාන රජයේ මෙන්ම නව පොලිස්පතිවරයාගේ ද වගකීම වන්නේය.

හේමන්ත රන්දුණු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *