BREAKING NEWS
Search

හොද කිරීමට ගිය සජිත්ට ප්‍රහාරයක්

274

පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දකුණේ සංචාරයක නිරත විය. සජිත්ගේ ගමනේ ප්‍රධාන අරමුණ වී තිබුණේ හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවලින් තේරීපත් වූ සජබ පළාත් පාලන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමත්, සෙවනගල උක් ගොවීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්ය. ඒ අනුව සජිත් කොළඹ සිට හම්බන්තොට බලා යන අතරවාරයේදී යාල ආසන්නයේදී විදුලි වැට අසල අලියකු සිටින ආකාරයක් දැකගන්නට ලිබිණි. සජිත් යනු දේශපාලනයට අමතරව වනජීවීන්ට කැමැති, පරිසරයට කැමැති, වනජීවී ඡායාරූපකරණයට කැමැති පරිසරවේදියෙකි. බොහෝ විට දේශපාලනයෙන් විවේකයක් ලැබුණු වහා සජිත් යාල, විල්පත්තු කැලෑවලට ගොස් සතුන් නැරඹීම සහ ඡායාරූපකරණයේ යෙදෙන්නේ ඒ නිසාය.

මේ ආකාරයට සතුන්ට සහ වනයට ආදරය කරන දේශපාලන නායකයන් අද ලෝකයේම ඇත්තේ ඉතා අතළොස්සකි. සජිත් මෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද වනජීවීන්ට ආදරය කරන, වනජීවීන් ආරක්ෂා කරන දේශපාලන චරිත දෙකකි. වරක් ඉන්දීය කොටියන් වඳවී යන බවට පුවතක් වාර්තා වීම නිසා මෝදි කළේ පරිසරය සම්බන්ධයෙන් ප්‍රකට රූපවාහිනී නාලිකාවක් සමග ඉන්දියාවේ කැලයකට ගොස් කොටින් සමග රාත්‍රියක් ගතකරමින් විශේෂ වාර්තාමය වැඩසටහනක් සිදුකිරීමය. ඊට ජාත්‍යන්තරයේ විශාල ප්‍රතිචාරයක් ලැබී තිබිණි. එමෙන්ම ඉන්දීය නළුනිළියන් සමගද කොටින්ගේ වැදගත්කම අවධාරණය කරන වාර්තා වැඩසටහන් මෝදි සිදුකර තිබිණි. වඳවීමේ තර්ජනයට ලක්ව සිටි ඉන්දීය කොටියන් මෝදි විසින් ආරක්ෂා කරගත්තේ ඒ ආකාරයටය.

සජිත්ද සිය හම්බන්තොට සංචාරයේදී වැට අයිනේ සිටින අලියා දුටු සැණින් ඔහුගේ සිහියට නැගුණු කාරණාව වූයේ එදින ජාත්‍යන්තර අලි දිනය බවත්, මේ වනවිට ලංකාවේ අලි බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින බවත්ය. ඒ අනුව වහාම රථය නවත්වා අලියා පසුබිමේ සිටින ආකාරයට විශේෂ ප්‍රකාශයක් කළ සජිත්, අලි-මිනිස් ගැටුම නවත්වා මේ වනවිට තර්ජනයකට මුහුණදී සිටින අලින් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳ විශේෂ පණිවුඩයක් ආණ්ඩුවටත්-රටටත් ලබාදීමට පියවර ගත්තේය.

යාලට බල්ලො කොහෙන්ද?

ඉන් අනතුරුව හම්බන්තොට ගමනින් පසු පැය දෙකක පමණ කාලයක විවේකයක් තිබුණු නිසා සජිත් කළේ යාල ඇතුළේ කෙටි සංචාරයක නිරත වීමය. එසේ යාලේ සංචාරය කළ සජිත්ට එක් වරම බල්ලන් දෙදෙනකු කැලයේ සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. එවිටම සජිත්ගේ ඔළුවට ආවේ මීට පෙර විල්පත්තු කැලේදී සංචාරක මගපෙන්වන්නන් විසින් බල්ලන් කැලයට ගෙනැවිත් කොටින්ගේ ගොදුරු ලෙස දමා ඒවා ඡායාරූපකරණයට සහ වීඩියෝකරණයට ඉඩ ලබාදී විදේශිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් ගන්නා මාෆියාවක් පිළිබඳ වාර්තා වූ තොරතුරුය. ඒ අනුව යාල කැලේ සිටි බල්ලන් දෙදෙනා පිළිබඳ සොයා බලද්දී සජිත්ට ඉන් එපිටට වන්නට කොටින් දෙදෙනකුද, සංචාරකයන් නංවාගත් මගපෙන්වන්නන් සහිත ජීප් රථච නවතා තිබූ ආකාරය දැකගත හැකි විය. එහිදී මගපෙන්වන්නන් විසින් මෙසේ බල්ලන් කැලය තුළට ගෙනැවිත් කොටින්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩහැර එය විදේශිකයන්ට පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක් සිදුකරන බවට වූ සැකය සජිත්ගේ සිතට නැගිණි. ඒ අනුව සජිත් වහාම කළේ සිය ජීප් රථය මාර්ගය හරස් කොට සිටින ලෙස නවත්වා බල්ලන් දෙදෙනාත්, කොටින් දෙදෙනාත්, සංචාරකයන් රැගත් ජීප් රථයත් යන තුනම සිය කැමරා කාචයට හසුකර ගැනීමට උත්සාහ ගැනීමය. නමුත් සජිත්ට එම ඡායාරූපය ග්‍රහණයට හසුකර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. සජිත් එම උත්සාහය ගත්තේ මෙම විශේෂ ඡායාරූපය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගීමටය.

ප්‍රහාරය රනිල්ගේ පැත්තෙන්

කෙසේ වෙතත් සජිත් මේ දැරූ උත්සාහය වරදවා වටහාගත් කිසිවකු විසින් සජිත් යාලේ මාර්ගය හරස් කොට ජීප් රථය තබාගෙන සිටින ආකාරය වීඩියෝ කොට සමාජ මාධ්‍ය ජාලවලට යොමුකොට තිබිණි. විශේෂයෙන්ම රනිල්ට හිතවත් සමාජ මාධ්‍ය ජාලවල මෙම වීඩියෝවට විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණු අතර, සජිත් ඉලක්ක කොට විශාල ප්‍රහාරයක් දියත් කොට තිබිණු ආකාරයත් දැකගත හැකි විය. නමුත් එහි පසුපස පැවැති ඇත්ත කතාව මෙයය.

කෙසේ වෙතත් සජිත් එම ඡායාරූප ගෙන ඒ මොහොතේම යාල වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් කියා තිබුණේ කතරගම පාද යාත්‍රාවට උතුරේ සිට ජනතාව පැමිණෙද්දී බල්ලන්ද පැමිණ ඇති බවත්, එසේ පැමිණි බල්ලන් අතරමංව තවමත් යාලේ සිටින බවත්ය. නමුත් කතරගම පෙරහැර අවසන් වී මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගතව තිබීම නිසා එම තර්කය පිළිගත නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඒ අනුව, කළ යුත්තේ සජිත්ට ප්‍රහාර එල්ල කිරීම නොව සජිත් පෙන්වා දුන් මෙම කරුණ පිළිබඳ අවධානය යොමුකොට සංචාරක මගපෙන්වන්නන් විසින් නීති විරෝධී යමක් කරනවා නම් එය වහා නැවැත්වීමත්, වන ජීවීන් අනාගත පරපුර උදෙසා ආරක්ෂා කරගැනීමත්ය.

source : mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *