බලාපොරොත්තු පොදි බැඳි දියණිය සුදු ඇඳුමටයි, ටයි පටියටයි සමු දී කාගේත් සිත් සසල කරමින් මිලිනව ගියේ පාසල් මාතාවට තවත් එක් සිසුවියක් අහිමි කරමිනි. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීම සඳහා පොත් බෑගයත් සුදු ගවුමත් පෙර සිටම සූදානම් කළ පිටිගල, අමුගොඩ සුදාරක ප්‍රාථමික විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගනුම ලැබූ නෙතුලි මධුෂිකා නම් කුඩා දියණිය තාත්තා පැදවූ ත්‍රිරෝද රථයෙන් ඇද වැටී අනතුරට ලක්ව දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී කාගේත් දෙනෙතට කඳුළක් එකතුකරමින් මෙලොව හැර ගියාය.
ආච්චි සහ නැන්දා සමග අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඥති නිවසකට ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුර ඇල්පිටියට පැමිණි ඔවුනට රාත්‍රියේ නිවසට යෑමට බස් රථයක් නොමැති කමින් දුරකථන ඇමැතුමකින් තම තාත්තාව ඇල්පිටියට ගෙන්වා ගන්නේ නිවසට යෑමටයි. එහෙත් ඔවුනට ඇල්පිටියෙන් පිටත්ව වැඩිදුරක් යෑමට සිදුවූයේ නැත. ඇල්පිටිය, පිටිගල මාර්ගයේ එකොළහේ කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයෙන් ඇද වැටුණු නෙතුලි මධුෂිකා කඩිනමින් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ජාතික රෝහලට මාරුකර යැවීමට ඇල්පිටිය රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කළේ ඇයගේ දිවි බේරා දීම සඳහාමය.
එහෙත් ඇයට ජීවිතය හැර යෑමට සිදුවූවාය.
දියණිය මරණයේ ඉරණමට ගොදුරු වන්නේ අම්මාද විදේශ ගතවූ පසුබිමකය. අම්මා විදේශ ගතවන්නේ මීට මාස අටකට පෙරයි. එදා පටන් ආච්චි අම්මාගේ රැකවරණය ලැබුණු නෙතුලි මධුෂිකාට වැඩිමහල් සහෝදර සහෝදරියන් තිදෙනාගෙන් ලැබුණේ අසීමිත ආදරයකි.
එහෙත් අද ඇය මේ සියල්ලම හැර දමා ගොස් අවසන්ය.
චන්දන සමන් කුමාර – පැලවත්ත


















