BREAKING NEWS
Search

වනඅලියකු පහරදී මියගියැයි සැකකළ තරුණයාගේ මරණය ගැන එලියට ආ ඇග සලිත වෙන කතාව

3943

වන අලියෙකු පහර දීම නිසා මියගොස් ඇති බවට සැකකළ මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයේ තරුණයාගේ මරණය පහරදීමකින් හා කපා කොටා දැමීමකින් සිදු වූ මරණයක් බවට කොක්කුතුඩුවායී පොලිසිය පෙරේදා (09 දා) තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

කොක්කුතුඩුවායි උතුරේ පදිංචි ජයරාජ් සුබරාජ් නම් 21 හැවිරිදි මොහු ධීවර කටයුතු සඳහා රාත්‍රියේ පිටව ගොස් ආපසු උදෑසන සිය යතුරුපැදියෙන් නිවස බලා එමින් සිටියදී අතරමඟ පාරක තිබූ ඔහුගේ මළ සිරුර හමු වී තිබුණි.

ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වූ අවස්ථාවේදී නිවසේ උදවිය ඔහු ගැන කළ සොයා බැලීමකදී මළසිරුර හමු වී ඇති අතර මියගිය තරුණයාගේ පියා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ වන අලියෙකුගේ පහරදීමකින් තම පුතා මියගොස් ඇති බවයි.

මේ මාර්ගයේ වනඅලින් බහුලව සිටින නිසා පියා පොලිසියට එසේ ප්‍රකාශ කොට ඇතත් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කිසියම් පිරිසක් විසින් මොහුට පහර දී තියුණු ආයුධවලින් කපා කොටා ඔහුව ඝාතනය කොට ඇති බවයි.

සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය මරණ පරීක්ෂණය සිදුකළ මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ප්‍රදීපන් ධර්මලිංගම් මහතා කීප දෙනෙකුගෙන් ලබාගත් තොරතුරුවලින් පසුව අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝගකොට තිබේ.

කොක්කුතුඩුවායී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *