BREAKING NEWS
Search

ඇමැතිගේ ලේකම්ට රඟපා පොලිසියට ඇමතුම් දුන් ව්‍යාපාරිකයාට වෙච්ච දේ

25

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ පෞද්ගලික ලේකම් බව පවසා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සැකකරුගේ මස්සිනා බව පොලිසිය කියයි.

මෙම සැකකරු මීට වසර පහකට පමණ පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ  පෞද්ගලික  ලේකම් ලෙස පෙනී සිටිමින් පොලිසියට දුරකථන ඇමතුම් ලබාදීම  හේතුවෙන් අත්අඩංගුවට පත් වී තිබූ බවත් සැකකරු විසින් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද දුරකථනයෙන්  බලපෑම් කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්  සැකකරුගේ මස්සිනා ඉකුත් (6) වැනිදා මහරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබූ අතර ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරු භාවිතා කළ දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ පදිංචි 80 පුද්ගලයකුට අයත් දුරකථන අංකයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නුගේගොඩ කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් පරිදි මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂ සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ සහ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදුකරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *