අද (06) මාධවී ඇන්තනීගේ උපන්දිනය.
අන් කවර උපන්දාවකටත් වඩා, ඈට මෙවර විශේෂ වෙන්නෙ ලොකු හේතුවක් තියෙනවා.
ඒ, මාධවිය අම්මා කෙනෙක් හැටියට සමරන පළමු උපන්දිනය මෙය වීම නිසාවෙන්.
උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබෙන සුබපැතුම් අතර, හරි අපූරු ආදරණීය උපන්දින සුබපැතුමක් අපේ ඇස ගැටුණා.
සුබපැතුම තබා තිබුණේ ඇගේ ආදරණීය මව විසින්…
”මගෙ දුවේ,
ඉස්සර දවසක මං නුවරඑළියෙන් රෝස පැලයක් ගෙනත් ගේ ඉස්සරහ හිටෙව්වා. දවසක් උදේක දොර ඇරල බලනකොට පිපිලා ලස්සනම ලස්සන රෝස මලක්. මං ඒකෙ ලස්සන බැලුවා,ඉඹල බැලුවා,වටේටම පෙන්නුවා. එදා තමයි දුව මගෙ කුසේ පිළිසිඳ ගත්තා කියල දනගත්තු දවස.
අප්පච්චිගෙයි මගෙයි හිතේ මල් වත්තක් පිපිච්ච දවස.
ඒ කාලෙ මං රාජකාරි කලේ කටුනායක ගුවන්තොටුපලේ. රෑ 2.00 ට විවේක ගෙන නැවත උදේ 5.30 ට රාජකරි පටන්ගත යුතු වුවත් වාහලවත්ත මහතා,බොනිෆස් මහතා සිටින දිනවල ඔවුන් මා පැමිණෙන තෙක් මගේ රාජකාරි ආවරණය කරනවා.
අපිට ඔය බඩදරු ගෑනුන්ට කරදර කරන්න බැරි බව පවසමින්. ඒ කරුණාවන්තකමට පින් දෙන්න දුවේ.
දවසක් රෑ වැඩ නිමවා බස් එකේ එද්දී සුදු සරමක් ඇදගෙන මට යාබදව ඉදගෙන හිටි මහත්තයෙක්ගෙ ඔඩොක්කුව පිරෙන්න මං වමනෙ දැම්ම.
අනේ ඒ මහත්තය “ඔය කාලෙට ඔහොම තමයි” කියලා ඒ කරදරේ සන්සුන්ව ඉවසුවා. ඔහුටත් පින් දෙන්න දුවේ.
ඒ කාලේ මගේ හදවත ගැහුනේ ලප් ඩප් කියල නෙවෙයි. දුවෙක්..දුවෙක් කියලයි.
ඉතිං දුවේ දුව බිහිවෙන්න දින නියමිතව තිබුනෙ අගෝස්තු 02. මෙන්න එදාම මට ප්‍රසව වේදනාව දැනන්න ගත්තා.
දුවගෙ ලොකු පුංචිඅම්ම තමයි මාව සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කලේ. මගෙ පරෙස්සමට අපේ නෑදෑ හෙදියක වන නන්දාවතී අක්කාත් එක්ක.
එදා අප්පච්චි නට්‍යකට ගිහින් හිටියේ.
2 වැනිදා රෝහල්ගත කලත් දුව ලැබුනෙ 6 වැනිදා. ඒ මදිවට බබා එන්නෙ මූනෙන් බවත් ඒක අවදානම් තත්වයක් බවත් දොස්තරලා කතාවෙනව මං අහගෙන.
ඒත් ප්‍රසව වේදනාව හැර සියලු වේදනා දුරු කලේ නන්දක්කා. ඇයට නිවන්සුව පතන්න දුවේ. දුවගෙ සුදුමාමා ඒ කාලෙ වෛද්‍ය සිසුවෙක්.
මං අමාරුවෙන් කෙදිරිගගා ඉන්නකොට සුදුමාමා බත් කකා හිටපු Dr.B.Y .ද සිල්වා මහතාගේ ඉදුල් අත සෝදවාගන පිසෙන්ඩු වෙලා සූතිකාගාරයට ඇතුල් කළා.
අනේ ඒ දොස්තර මහතා මහත් පරිශ්‍රමයක් යොදලා දුවගෙත් මගෙත් ජීවිත බේරා ගත්තා. එතුමන්ටත් පින් දෙන්න.
ඊටපස්සෙ මෙන්න රෝස මලක් වගේ ලස්සන දූ පැටියෙක් මට ගෙනත් දුන්න.
මං දුවගෙ ලස්සන බැලුවා. ඉඹල බැලුවා. වටේටම පෙන්නුවා.
සූතිකාගාරෙ කටයුතු ඉවරවෙලා මාව එලියට ගන්න වෙලාවෙ දුවව මගෙ කකුල්දෙක උඩින් ගෙනත් තිබ්බ.
ඒ වෙලාවෙ මුල් වතාවට මට දුවගෙ උනුසුම දැනුනා.
ඒ මොහොත මතක්වෙන ගානෙ මාව අදටත් උනුසුම් වෙනව ඉතිං දුවේ ඒ මේ අතර සියලු දේ…මට පොතක් ලියන්න වෙනවනෙ.
මගෙ දුවේ ඔබත් මවක්වී අද මේ ලබන උපන්දිනය සියලු යස ඉසුරින් පිරි ,නිදුක් නීරෝගි සුවසම්පන්න එකක්ම වේවා.
මගෙ දුවට තෙරුවන් සරණයි.”
අම්මාගේ ඒ ආදරණීය උපන්දින සුබපැතුම වෙනුවෙන්, මාධවී මෙයාකාරයෙන් ප්‍රතිචාර දක්වා තිබුණා…
”අම්මා විලිරුදා විඳිනකොට අප්පච්චිට ලඟ ඉන්න බැරි වුනේ ඇයි කියලා අද මට හොඳටම තේරෙනවා… ඉතිං මේ කාට කෙසේ වෙතත් අම්මටයි අප්පච්චිටයි බොහෝ පිං! කෛලාෂ් මැණික අද අපිට ඉන්නෙ ඔයාලා මාව දරාගත්තු නිසානෙ….”
















