පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක තිබී දින කිහිපයක් වයසැති බිලිඳකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
අද (01) පෙරවරු 10.46ට පුත්තලම සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක් පිරිසුදු කිරීම සඳහා මාලිගාවත්ත දුම්රිය අංගනයට ඇතුළත් කළ අවස්ථාවේදී, දුම්රිය දෙපාර්තමේන්තුවේ පිරිසුදු කිරීමේ සේවකයෙකු විසින් වැසිකිළියක දමා තිබූ කළු බෑගයක තිබී මෙම බිළිඳාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
පසුව එම සේවකයා විසින් මේ පිළිබඳව දෙමටගොඩ පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
දෙමටගොඩ පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා විසින් බිළිඳාගේ මරණයට හේතුව නිශ්චය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි එහිදී නියෝග කර ඇත්තේ.
















