ඇය නමින් වසන්ති චතුරාණි වුවද මාරවිල ප්‍රදේශයේ බොහෝ දෙනෙක් හැඳින්වූයේ ‘සුද්දී’ යන අන්වර්ථ නාමයෙන්ය.
නිළියකට තරම් සුරූපී පෙනුමක් ඇයට උරුමව තිබුණ ද ඇගේ වචන උච්චාරණය මෙන්ම චර්යාව හොඳ නැත.
මාරවිල මැද නාත්තණ්ඩිය වික්‍රමසිංහ මාවතේ පිහිටි නිවසේ හැදී වැඩුණු වසන්ති චතුරාණි හෙවත් සුද්දී හරිහමන් අධ්‍යාපනයක් ලබා තිබුණේ නැත. කුඩා කල සිට ම ඇයට අත්විඳින්න සිදු වූ පවුල් පසුබිම ඉතාම අමිහිරි එකක් විය.
කොටින්ම ඇගේ නිවස මැද නාත්තණ්ඩිය ග්‍රාමයේ කුඩු තිප්පොළ විය. සුද්දීගේ පියා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විය. මවද එසේමය. සුද්දීගේ මවද හෙරොයින් විකුණා වසර ගණනක් බන්ධනාගාරගතව සිටි කාන්තාවකි. කුඩා කල සිට ම තම වැඩිහිටියන්ගේ ආභාසය ලබමින් හැදී වැඩුණු සුද්දී පසු කලෙක මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවාය.
පාසල් යන සමයේම අධ්‍යාපන කටයුතු පසෙකට දැමූ සුද්දී ප්‍රේම සම්බන්ධතාවන්ට මුල් තැන දුන්නාය. දකින ඕනෑම පුද්ගලයකුගේ සිත ඇදී යන තරමේ රූප සම්පත්තියක් තිබූ නිසාම ඇයට කුඩා කලසිට ම ප්‍රේමවන්තයන්ගෙන් අඩුවක් නොවීය. සුද්දී යන්තම් අවුරුදු 14 වෙද්දී පවුල් කන්නට පටන් ගත්තාය. එහෙත් එය නීත්‍යානුකූල විවාහයක් නොවීය.
පුංචි කාලේ සිට ම ඔළුවට ගසා තිබූ මඟුල් විසේ නිසා ම ඇය ගැබිනියක වූවාය. සුද්දී ගැබිනියක කළ තරුණයා සමග පවුල් කන්නට පටන් ගත් ඇය පාසල් අධ්‍යාපනය ද අතහැර දැමුවාය.
සුද්දීගේ රූපය තරම් හඬ සහ හැසිරීම ලස්සන නැති නිසා වැඩිකල් ඒ පවුලේ ජීවිතය ගෙවුණේ නැත. සුද්දීගේ සැමියා ලෙස සිටි තරුණයා ඇය ද අතහැර යන්නේ යළි කිසිදිනෙක නොපැමිණෙන බව කියමින්ය.
අන්තිමේදී සුද්දී තමන් විසින් බිහිකළ පුත්‍රයා සිය මවට භාර දී තවත් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යමින් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තාය. ඒ අතර ම ඇය මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම ජයටම කරගෙන යන්නට පටන් ගත්තේ තම මවුපියන්ගේ අඩිපාරේ යමින්ය.
මීට වසර 12කට පමණ උඩදී සුද්දී විවාහ වූවාය. ඒ වනවිට ඇය 18 වැනි වියේ පසු විය. තමන්ට දාව උපන් පිරිමි දරුවා මවට භාරදුන් සුද්දී තම නීත්‍යානුකූල සැමියා සමග පවුල් කන්නට පටන් ගත්තාය.
සුද්දීගේ සැමියා පදිංචිව සිටියේ උදාසිරිගම ප්‍රදේශයේය. සුද්දී මෙන්ම ඇගේ අලුත් සැමියා ද කළේ හෙරොයින් විකිණීමය. ඒ නිසා ම සුද්දී සහ සැමියා තකටතක ගැළපුණහ. නීත්‍යානූකූල සැමියාට දාව සුද්දී නිවුන් දරුවන් බිහි කළාය. ඒ පුත්‍රයන් දෙදෙනෙකි.
සුද්දී ඇතුළු මේ කුඩු පවුලට පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය සුපුරුදු තැන් විය. මේ අයව අත්අඩංගුවට ගත්විට බන්ධනාගාරගත වීම ඇප ලබා පැමිණීම සාමාන්‍ය ජීවිතේ අංගයන් බදුවිය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සුද්දීගේ නීත්‍යානුකූල සැමියාද අත්අඩංගුවට පත් වී බන්ධනාගාරගත වුණේය. ඒ මීට වසර කීපයකට උඩදීය. සැමියා නැති අඩුව සුද්දීට ඒ තරම් තදින් දැනුණේ නැත. ඒ මන්දයත් ඒ වනවිටත් ඇය තවත් කීපදෙනකුගේ ආදරය, සෙනෙහස ලබමින් සිටි නිසාය.
සුද්දී තදින්ම අනියම් ඇසුරක් පැවැත් වූ පුද්ගලයා ද කුඩු වෙළෙන්දෙකි. මීට වසරකට පමණ උඩදී ඒ කුඩු වෙළෙන්දා ද මත්ද්‍රව්‍ය සමග පොලිසිය කොටු වුණේය. අවසානයේ ඔහුද බන්ධනාගාරගත විය. සුද්දී ඒ කුඩු වෙළෙන්දාට තම නීත්‍යානුකූල සැමියාට වඩා ආදරය කළාය.
සුද්දී මීගමුව බන්ධනාගාරය වෙත නිතර යන්නේ තම නීත්‍යානුකූල සැමියා බැලීමට නොව, අනියම් සැමියාගේ සුවදුක් බැලීමටය. කාලයක් ගතවෙද්දී ඒ අනියම් සැමියාගේ ළඟම මිතුරකු වූ ඉසුරු නමැති තරුණයා සමග ද සුද්දී සමීප සබඳතාවක් ගොඩනඟා ගත්තාය. ගිය ගිය තැන මාලිගා යන මනසේ සිටි සුද්දී තමන්ට හිත යන ඕනෑම පුද්ගලයකු සමග ඇසුරක් පැවැත්වීමට දෙවරක් සිතා බැලුවේ නැත. මේ අතර සුද්දී ද මත්ද්‍රව්‍ය සමග පොලිසියට කොටු වූවාය. ඇයට ද අවසානයේ සිදු වූයේ මීගමුව බන්ධනාගාරයේ බිත්ති අතරට කොටුවීමටය. සුද්දීගේ තිබූ අතිශය රූමත්කම නිසාම බන්ධනාගාරයේදී පවා ඇයට ලැබුණේ විශේෂ සැලකිල්ලකි. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ඇයගේ සියලු පහසුකම් සපයා දීම වෙනුවෙන් පෙනී සිටි බව නොරහසකි.
බන්ධනාගාරගත වූ පසු සුද්දීගේ නිවුන් දරුවන් බලාගන්නේද ඇගේ මව විසින්ය. සුද්දීගේ වැඩිමහල් දරුවා සමග දරුවන් තිදෙනාම හැදී වැඩුණේ ඇගේ මවගේ සෙවණේය. මීට මාස කීපයකට උඩදී ඇප ලබාගැනීමෙන් පසු සුද්දී නැවත මාරවිලට ආවාය. සුද්දී ආපසු ගමට ආ බව දැනගත් මත්ලෝලීන්ට මෙන්ම ඇගේ ඇසුර පැතූ තරුණයන්ට රජමඟුල් විය.
පොලිසියට හසුවී බන්ධනාගාරයේ ළඟ සිටිය ද සුද්දී ඒ කිසිවකින්වත් මට්ටු වී සිටියේ නැත. ඇප ලබා පැමිණි ඇය නැවතත් සුපුරුදු රැකියාව කරන්නට පටන් ගත්තාය. සුද්දී මත්ද්‍රව්‍ය ගනුදෙනු කළේ ඔන්ලයින් ක්‍රමයටය. සුද්දීට මත්ද්‍රව්‍ය ලැබෙන්නේද ඒවා සිය මත්ලෝලීන් අතර බෙදා හැරියේද ඔන්ලයින් ක්‍රමයටය.
ඒ නිසාම සුද්දීගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සිය ජාවාරම්කරුවන් ගැන කිසිවකුත් දැන සිටියේ නැත. ඇයට මත්ද්‍රව්‍ය තොග ලැබෙන්නේ කාගෙන්ද කොහෙන්ද යන්න දැන සිටියේ ඇය පමණි. පසුගිය 22 වැනිදා රාත්‍රියේ සුද්දී සිය නීත්‍යානුකූල සැමියාට අයත් උදාසිරිගම නිවසට වී සිටියේ දරුවන් දෙදෙනා ද සමගය. එදින රාත්‍රි 08.00ට පමණ සුද්දීගේ ජංගම දුරකථනයට ගනුදෙනුකරුවකුගෙන් ඇමැතුමක් ලැබුණේය. අපට 2000ක පැකට් 2ක් ඕනෙ. කොහෙන්ද ගන්න පුළුවන්.
මත්කුඩු ලෝලියා සිය ඇණවුම සුද්දී වෙත ඉදිරිපත් කළේය.
හරි හරි බඩු තියෙනවා මැද නාත්තණ්ඩියේ අපේ මහගේ ළඟට වරෙල්ලා. මම බඩුත් අරන් එන්නම්.‘සුද්දී සිය ගනුදෙනුකරුට කීවාය.
සුද්දී ඒ මොහොතේම ත්‍රිරෝද රථයක් නිවසට ගෙන්වා ගත්තාය. සුද්දී සිය ගමන් බිමන් යෑම සඳහා නිතර යොදා ගන්නේ මේ ත්‍රිරෝද රථයයි. සුද්දීගේ අලුත්ම ප්‍රේමවන්තයා වූ ඉසුරු ද සිය තනි නොතනියට ගෙන්වා ගැනීමට ඇය කටයුතු කළාය. ‘පුතේ උඹත් ලෑස්තිවෙයන් ආච්චිගේ ගෙවල් ළඟට ගිහින් එන්න. සිය දස හැවිරිදි දරුවා ද ඇය ලෑස්ති කර ගත්තාය. තමන් යන්නට සූදානම් වන්නේ මේ අවසන් ගමන බව ඇය දැන සිටියේ නැත. ඒ අවසන් ගමන සඳහා සිය දරුවා ද කැටිව යෑමට ඇය සැරසුණාය.
ඒ වනවිට රාත්‍රි 8.30 පසු වී තිබිණි. සූරූපිනියක වූ සුද්දී සමග එකට ත්‍රිරෝද රථයේ යෑමට ඉසුරු බෙහෙවින් ප්‍රිය කළේය. ඒ හැම මොහොතකම හෝ ඇගේ පහස ලැබීමට තිබෙන අවස්ථා නිසයි. පුතේ මේක ඇතුළෙ අපි සේරටම යන්න ඉඩ නැහැනේ. ඔයා ත්‍රීවීලර් එකේ බඩු පටවන තැන යන්න.
ඉසුරු සුද්දීගේ දසහැවිරිදි දරුවා ත්‍රිරෝද රථයේ අසුන පිටුපස බඩු පැටවීමට යොදා ගන්නා ස්ථානයේ තැබීමට කටයුතු කළේ වෙනත් අරමුණක් සිතේ සිර කරගෙනය. ත්‍රිරෝද රථය ඝන අන්ධකාරය මැදින් මැද නාත්තණ්ඩිය වික්‍රමසිංහ මාවත දෙසට ඉඟිලුණේය.
ත්‍රිරෝද රථය සුද්දීගේ මහගෙදරට හැරෙන පාර අසල නතර කෙරිණි. විනාඩි කීපයක් ගිය තැන සුද්දීගේ දුරකථනයට මත්ලෝලියකුගෙන් ඇමැතුමක් ලැබුණේය.
සුද්දී අක්කේ, තව ටිකක් ඉස්සරහට ත්‍රීවිල් එකේ එන්න. මම එන්නම්. ඒ අනුව සුද්දී ඇතුළු පිරිස රැගත් ත්‍රිරෝද රථය තම මාවතින් නිවසට හැරෙන පාර පසුකර ඉදිරියට ඇදුණේය. ප්‍රධාන මාර්ගය අසල ත්‍රිරෝද රථය නතර කරගත් සුද්දී තම ගැනුම්කරුවා එනතුරු බලා සිටියාය. විනාඩි 2ක පමණ කාලයක් එහි රැඳි සිටිය ද ගනුදෙනුකරු පැමිණියේ නැත.
ඒ අතර ගනුදෙනුකරු නැවතත් සුද්දීගේ දුරකථනයට ඇමැතුමක් ගත්තේය. ‘අනේ සමාවෙන්න සුද්දී අපිට හදිස්සිවෙලා වෙන තැනකින් බඩු ටික ගත්තා. ඔයාගෙ බඩු දැන් ඕනෙ නැහැ. අනිත් දවසේ ගන්නම්. ගනුදෙනුකරු එසේ කියද්දී සුද්දීට අසූ හාරදාහට නැග්ගාය. සූරුපිකම පැත්තක තැබූ සුද්දී අමු තිත්ත කුණුහරුපයෙන් ගැනුම්කරුට බැනවදින්න පටන් ගත්තාය.
“ඈ බොල තෝ හිතුව ද මට වැඩ නැතිව මේ තැන් තැන්වල ඇවිත් ලැගලා ඉන්නවා කියලා. මම නරක ගෑනි කරගන්න එපා. තෝ දැන් මාව කොච්චර වෙලා රස්තියාදු කළාද? මීට පස්සේ හතරමායිමේ එන්න එපා බඩු ඉල්ලගෙන. ඔය ගන්න එවුන්ගෙන්ම බඩු ගනින්..’
සුද්දී දැඩි කෝපයෙන් බැන වැදුනාය. ඒ වනවිට මාරයා තමා ආසන්නයටම පැමිණ සිටින බව සුද්දී දැන සිටියේ නැත. මුහුණු ආවරණය කරගත් හිස්වැසුමකින් සහ කළු පැහැති ජැකට්වලින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙක් රැගත් යතුරුපැදියක් සුද්දී ඇතුළු පිරිස සිටි ත්‍රිරෝද රථය අසල එකවරම නතර කෙරිණි.
මේ හදිස්සියේ තම ගනුදෙනුකරුවකු පැමිණියේ දැයි බැලීමට සුද්දී ත්‍රිරෝද රථයෙන් පිටතට හිස දැම්මාය. ඒ සමගම යතුරුපැදියේ පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා ක්‍රියාත්මක වූහ. මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයෙන් ගිනිපුලිඟු පිටකරමින් පිටවූ උණ්ඩ සුද්දීගේ හිස සහ ගෙල ප්‍රදේශය විනිවිධ ගියේය. සුද්දීට විලාප නැඟීමටත් වෙලාවක් ඉතිරි වී තිබුණේ නැත. වෙඩි ප්‍රහාරවලින් ඇය ඒ ස්ථානයේම මැරී වැටුණාය.
ත්‍රිරෝද රථයේ සිටි සුද්දීගේ දස හැවිරිදි පුත්‍රයාගේ පාදයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණේය.
මාරවිල සූරූපිනියක වූ වසන්ති චතුරාණි එහෙමත් නැත්නම් සුද්දී සහාසික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙන්නේ ඉන්පසුවය. වසන්ති චතුරාණිගේ රූමත්කම නිසාම ඇගේ ඝාතනය ගැන රටේම ජනතාවගේ අවධානය යොමු වී තිබිණි.
පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණ යටතේ මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කළහ. සුද්දී ඝාතනයේ ප්‍රධානම සැකය යොමු වී තිබුණේ ඇය කාලයක සිට කරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම වෙතය. සුද්දීගේ මුළු පවුලම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිතර වී සිටි නිසා පොලිසිය සැක පහල කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇගේ ඝාතනය පිටුපස සිටින බවයි.
මාරවිල උදාසිරිගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වූ ‘සනීර’ මේ වනවිට සිටිනේ ඩුබායි රාජ්‍යයේය. ඉකුත් 2020 වර්ෂයේ දී සනීර ඩුබායි රාජ්‍යයට පලා යන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට අත ගසමින්ය. සනීර මාරවිල සිටින කාලයේ පටන් සුද්දී ඔහු සමග මත්ද්‍රව්‍ය ගනුදෙනු කළාය. සනීර ඩුබායි රාජ්‍යයට ගිය පසුව ද මේ සම්බන්ධය ඒ අයුරින්ම පැවතිණි. එහෙත් සනීර සහ සුද්දී අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිතර නිතර ආරවුල් පැවැති බව විමර්ශකයන් සොයා ගත්හ.
එමෙන්ම ඉතාලියේ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග ද සුද්දී මත්ද්‍රව්‍ය ගනුදෙනු කළාය. සුද්දී මරාදැමීමට හෝරා කීපයකට උඩදී ඉතාලියේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ඇගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබී තිබුණේය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔවුන් අතර ද ආරවුලක් පැවැති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණේය.
මත්ද්‍රව්‍ය ලබාගැනීමට යැයි කියමින් මත්ලෝලීන් දෙදෙනකු විසින් සුද්දීට ලබාදුන් දුරකථන ඇමැතුම් සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් භාරයට ගත්හ.
එදින රාත්‍රියේ සුද්දී මහමඟට ගේනවා ඇය ඝාතනය කළ බව පොලිසිය ඒ වනවිට හෙළි කර ගෙන තිබුණේය. මේ ඝාතන නියෝගය ඩුබායි රාජ්‍යයෙන් ලැබුණේ ද එසේම නැත්නම් ඉතාලියෙන් ලැබුණේ ද යන්න මෙතෙක් හෙළි වී නැත. එමෙන්ම සුද්දීගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන්ගේ සැකයට යොමු වූ තවත් කරුණක් විය.
සුද්දී නීත්‍යානුකූල සැමියා සිටිය දීම අනියම් සම්බන්ධතා කීපයක්ම පවත්වාගෙන ගිය බව නොරහසකි. ඒ බව දැන සිටි නීත්‍යානුකූල සැමියා ඇය කෙරෙහි පසුවූයේ දැඩි වෛරයකින්ය. විමර්ශන නිලධාරීන් සුද්දීගේ නීත්‍යානුකූල සැමියා ගැන සොයා බැලූහ.
එහෙත් ඒ වනවිට ඔහු සිටියේ මීගමුව බන්ධනාගාරයේය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. සුද්දීගේ නීත්‍යානුකූල සැමියාගේ චර්යාවන් ගැන පොලිසිය සොයා බැලුව ද ඔහුට මෙවැනි ක්‍රියාවක් කිරීමට තරම් ශක්තියක් නැති බව පොලිසියට පැහැදිලි විය. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා යන මහත්වරුන් මාරවිලට පැමිණ හදිසියේ ඝාතනය ගැන කෙරෙන විමර්ශනවලට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කළහ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ආරවුල් බහුල වශයෙන් සිදුවන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලය. මත්ද්‍රව්‍ය ජාවාරම් මුල්කරගෙන, එක් එක් කණ්ඩායම් එකිනෙකා මරාගන්නේ ද මේ ප්‍රදේශවලය.
මාරවිල වැනි ප්‍රදේශයක දී මත්ද්‍රව්‍ය ආරවුලක් සම්බන්ධයෙන් ඝාතනයක් සිදු වන්නේ කාලයකට පසුවය.
ඒ කෙසේ වෙතත් සුද්දී ඝාතනය තවමත් අභිරහසකි. ඇය මරා දැමුවේ මත්ද්‍රව්‍ය ආරවුලකට ද එසේත් නැත්නම් වෙනත් ප්‍රශ්නයකට දැයි තවමත් මහා ප්‍රහේලිකාවකි. මේ ප්‍රහේලිකාව විසඳාගැනීම සඳහා පොලිස් විමර්ශකයන් දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.
දිවයින ඇසුරින්