ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එහි හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඉන්දියාවේ සූරට් ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
ආයුධ සන්නද්ධ පුද්ගලයින් සිව්දෙනෙකු එම සාප්පුවට ඇතුළු වී එහි සිටි අයට තුවක්කු පෙන්වා තර්ජනය කර රන් භාණ්ඩ කොල්ලකෑමට උත්සාහ කර තිබේ.
ඔවුන් පලා යාමට උත්සාහ කරන විට එහි හිමිකරුවා විසින් ඔවුන්ව නැවැත්වීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී කොල්ලකරුවන් ඔහුට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ප්‍රදේශවාසීන් විසින් වෙඩික්කරුවන් අල්ලා ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔවුන් විසින් වෙළඳසැලෙන් පිටත රැස්ව සිටි පිරිසට ද වෙඩි තබා තිබේ.
එම වෙඩි තැබීම් හේතුවෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු අල්ලා ගෙන පොලීසියට භාර දී තිබේ.
එරට පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයාට ප්‍රදේශවාසීන් එක්ව පහර දී ඇති බවය.
පලාගිය සැකකරුවන් තිදෙනා සොයා ඉන්දීය පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.




















