බටුවත්ත හන්දියේත්, තඹුත්තේගම, පහළගම හන්දියේත් ඔවුන් නමින් එල්ලු ධවල පැහැ කොඩියෙන් ඒ ප්‍රදේශයම තවමත් ශෝකයෙන් ඇලලිලා ගිහින්.. දෛවෝපගත ලෙස ඔහු මේ වන්දනා ගමනට එක්ව ඇත්තේ පවුලේ සියලුදෙනාද සමඟයි..
ඒත් අද.., ඔහු ඒ සියල්ලන් හඬවා නික්මගිහින්.. ඒ. ඩබ්ලිව්. ජයතිස්ස, ඔහු වයස අවුරුදු 42ක දෙදරු පියෙක්..
ඔහු හම්බන්තොට ප්රදේශයේ පෞද්ගලික ආයතනයක රිය සහායකයකු ලෙස රැකියාවේ නියුතුව සිට ඇති අතර, ඔහු ගමනට එක්ව ඇත්තේ අතරමඟදීයි.. සිය බිරිය සහ දරුවන් දෙදෙනා කුඩාබිලිබෑව ගමේ සිට ඥාතීන් සමඟ ගමනට එක්ව ඇති අතර, ඔවුන් එන අතරමඟදී ඔහු දඹුල්ල ප්රදේශයේ දී බසයට ගොඩවී තිබුණා..
මියගිය ජයතිස්ස මහතාගේ බාල සොහොයුරු නාමල් ප්‍රියන්ත ඔහුගේ වියෝව ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..
“අයියා වැඩ කරන්නේ හම්බන්තොට පැත්තේ ගෑස් කම්පැණි එකක. එයාගේ රූට් එක වැටිලා තියෙන්නේ දඹුල්ලට එනකන්. දඹුල්ලට ඇවිල්ලා එයා සමහර දවස්වලට ගෙදර ඇවිල්ලා යනවා. එදා ගමේ කට්ටිය වන්දනාවේ යනවා කියන ආරංචියට තමයි එයත් දඹුල්ලට ඇවිල්ලා බස් එකට ගොඩවෙලා තියෙන්නේ. එයාගේ නෝනයි, ළමයි දෙන්නයි මෙහේ ඉඳලා ගියා. එන ගමනේදී ආපහු දඹුල්ලෙන් බැහැලා රස්සාවට යන්න තමයි එයා හිටියේ. ඒත් දැන් එයාට ගෙදර එන්ඩ වෙලා තියෙන්නේ මේ විදිහයට. මට හිතෙන්නේ අනතුර වෙන වෙලාවේ එයා දොර ළඟ ඉඳලා තියෙන්නේ.”
මේ අනතුර අනුරාධපුර, තඹුත්තේගම, තලාව ප්රදේශවල අයගේ හදවත් ශෝකයෙන් පිරී යන්නට වූයේ මේ ඇසෙන කතාවලින් සියල්ලන්ගේම නෙත් කඳුලින්ම තෙත් කරමින්..

















