BREAKING NEWS
Search

කොවිඩ් මරණ 44ට නඟී – නව ආසාදිතයෝ 276ක්

3864

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඊයේ (05) ගතවූ පැය 24 තුළ මරණ 7ක් වාර්තා වීමත් සමඟ, නව කොවිඩ් මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගිය බව ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කරයි. මෙම මරණවලින් 4ක්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර, ඉතිරි මරණ තමිල්නාඩු, දිල්ලි සහ ගුජරාට් ප්‍රාන්තවලින් හඳුනාගෙන ඇතැයි එම පුවත් සේවය සඳහන් කළේය.

එම කාලය තුළ විවිධ ප්‍රාන්තවලින් නව කොවිඩ් ආසාදිතයන් 276ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව රට තුළ මේ වන විට කොවිඩ්-19 ආසාදනයට ගොදුරු වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 4,302 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්ඩියා ටුඩේ වැඩිදුරටත් පවසයි. උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, කේරළ සහ අරුනාචලම් ප්‍රදේශ් යන ප්‍රාන්තවලින් ද නව ආසාදිතයන් හඳුනාගෙන ඇත.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියද, ජනතාව කලබල විය යුතු නැති බවත්, වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මත බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය යටතේ, ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් ජනතාවට මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ සනීපාරක්ෂක උපදෙස් අනුගමනය කිරීම ඇතුළු පූර්වාරක්ෂක ක්‍රමවේදවලට අනුගත වන ලෙස උපදෙස් දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *