“මම තනි ඇහෙන් වැඩ කරන්නේ. නමුත් මම ඇස් හයක් තියෙනවා කියලා හිතේ තියාගෙන වැඩ කරන්නේ.”
මෙරට කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස බොහෝ දෙනෙකුගේ නොමද ගෞරවයට පාත්‍ර වන හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල තමන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයන්ට අධිකරණය විසින් දඬුවම් ලබා දෙන ලද දින එලෙස මාධ්‍ය වෙත පැවසීය.
ලලිත් අඹන්වල තර්ජන ගර්ජනවලට යට නොවී වරදාන වරප්‍රසාද ලබා නොගෙන අවංකව රාජකාරි කරමින් මෙරට සිදු වූ දුෂණ වංචා බොහෝ සංඛ්‍යාවක් රටට හෙළි කළ රාජ්‍ය නිලධාරියෙකු ලෙස සමාජයේ ප්‍රසිද්ධ චරිතයකි.
හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු රජයේ මුදල් අවභාවිත කරමින් කැරම්බෝඩ් බෙදා හැරී බවට වන චෝදනාවට වරදකරුවන් වී සිර දඬුවම් ලබා දීමේ සිදුවීමෙන් පසුව ලලිත් අඹන්වල පිළිබඳව යළි කතා බහක් කරළියට පැමිණ ඇත්තේ ඔහු ද එම නඩු කටයුතුවලට සහය දක්වා ඇති බැවිනි.
1986 පෙබරවාරි 5 වන දා විගණන අධිකාරීවරයෙක් ලෙස රාජකාරී ආරම්භ කර ඇති ලලිත් අඹන්‍වල වසර 30කට වැඩි සේවා කාලයකින් පසුව 2017 නොවැම්බර් 3 වන දා අතිරේක විගණකාධිපති ලෙස විශ්‍රාම ලබා ගත්තේය.




















