හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (මැයි 21) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.
අමාත්‍යශ කාර්ය මණ්ඩල සේවකයින් සඳහා වැටුප් ගෙවිය යුතු බව පවසමින් අමාත්‍යාංශ තුනකින් වංචාසහගතව මුදල් ලබාගෙන එම මුදල් සිය පක්ෂ කාර්යාලයේ කටයුතු හා පෞද්ගලික වියදම් සඳහා යොදා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 80ට ආසන්න පාඩුවක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජූනි මස 3 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (මැයි 20) නියෝග කළා ය.
එම සිද්ධියේ දෙවන සැකකරු වශයෙන් නම්කර සිටින කෙහෙළිය රඹුක්වල්ලගේ පුත් රමිත් ලක්සෙන බණ්ඩාර රඹුක්වැල්ලට අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණි.
එම වංචාසහගත සිද්ධියට අදාල නඩු තුනක් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂක (නීති) තුෂිතා ජයනෙත්ති දැක්වූ කරුණු සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.



















