පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ඊයේ (මැයි 20) පැවසීය.
ඊට අදාළ පැමිණිලිකරු ලෙස පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසි බමුණු ආරච්චි විසින් 2025.05.01 වැනි දින පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර බමුණු ආරච්චිගේ ජංගම දුරකතනයට උපාලි සමරකෝන් නමින් හඳුන්වන පුද්ගලයෙකු විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමට ඩුබායිහි සැඟ වී සිටින කංජිපානි නමැති සංවිධානාත්මක අපරාධකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමන් කුමාර නොහොත් අයි.ඩී. එච්. සුද්දා නමැත්තාට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට ලද ඇමැතුමට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී. 39554/25 යටතේ කරුණු වාර්තා කර බූස්ස බන්ධනාගාරයේ අයි. ඩී.එච්. සුද්දා නමැත්තෙක් සිටිනවා ද යන්න පරීක්ෂා කර ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව ද ඔහු කීය.
එමෙන් ම, අගමැතිනි හරිනි අමරසූරියට ජීමේල් හරහා එල්ල වූ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය විජේපාල පැවැසුවේ ජර්මනියෙන් සහ නෙදර්ලන්තයෙන් ආරම්භ වූ අන්තර්ජාල ලිපින ඇති අය විසින් මරණ තර්ජන එල්ල කර ඇති බවයි.
තව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරක් ලැබී ඇති බව අමාත්‍යවරයා පැවැසීය.
මෙය අසත්‍ය ප්‍රකාශයක් බව ඔප්පු වී ඇති බව හෙතෙම වැඩිදුරට ත් පැවසීය.
source : mawbima.lk




















