BREAKING NEWS
Search

යුද ජයග්‍රහණයේ 16 වසර සපිරෙන දා සේනාධිනායකගේ නිල සමාජමාධ්‍යවල කිසිදු සටහනක් නෑ

250

යුද ජයග්‍රහණයට 16 වසරක් සපිරෙන අද (18) දින සේනාධිනායක වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ කිසිදු සඳහනක් නොතැබීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවදානයට ලක්ව තිබෙනවා.

නමුත් හෙට (19) පැවැත්වෙන ජාතික රණවිරු සැමරුමට ජනාධිපතිවරයා එක්වීමට තීරණය කර ඇති බවට මේ වනවිට වාර්තා පළවනවා.
කෙසේ වෙතත් ජනපතිවරයා මෙම සැමරුමට සහභාගී නොවීමේ තීරණයක් ගැනයි මීට පෙර වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා විවිධ පාර්ශ්ව දැඩි විරෝධයක් එල්ල කළ බව දකින්නට ලැබුණා.
යුද ජයග්‍රහණයෙන් පසුව මෙරට පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම ජාතික රණවිරු සැමරුම සම්බන්ධයෙන් සිය අදහස් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කොට තිබුණා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සමාජමාධ්‍ය ඔස්සේ මේ ගැන අදහස් දක්වා තිබෙනවා.
වසර 30ක යුද්ධයෙන් සහ ත්‍රස්තවාදී සංවිධානයකින් අපගේ මව්බිම හා ජනතාව උතුර, දකුණ, නැගෙනහිර, බටහිර සහ මධ්‍යම කඳුකරය එකම ධජයක් යටතේ එක්සත් කර බේරාගෙන අදට වසර 16ක් ගත වී අවසන්.
ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලුම සොල්දාදුවන්ට අපගේ ආචාරය සහ ගෞරවය ලෙස එහි සටහන් තබා තිබෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් සිය සමාජමාධ්‍ය ඔස්සේ දීර්ඝ සටහනක් තැබීමටයි කටයුතු කර ඇත්තේ.
මේ රටේ සෑම පුරවැසියෙකුටම මරණ බියෙන් තොරව, ආරක්ෂිතව සහ මව්බිමේ සෑම අඟලකම සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම, දශක ගණනාවක් තිස්සේ අප සාමූහිකව දුටු සිහිනයක්.
ජනතාවගේ නායකයෙකු ලෙස මම එය පෞද්ගලිකව දුටු සිහිනයක් යනුවෙන්ද එහි සඳහන්.
මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි.
මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි යනුවෙන්ද එහි සටහන තබා තිබෙනවා.
මේ අතර පක්ෂ නායකයින් රැසක්ද ජාතික රණවිරු සැමරුම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බව දකින්නට හැකියි.
source : hiru



Leave a Reply

Your email address will not be published. Required fields are marked *