කොස්ලන්ද මීරියබැද්ද ආයෙත් කඳුළින් තෙත් වුණා
ඒ ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය විසි දෙදෙනා අතර මීරියබැද්දේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් ද වීම හේතුවෙන්.
ඥාන මුත්තු ලෙච්චමී සහ ඇගේ සැමියා වන සෙංගපුල්ලේ රවි රාජා යන දෙදෙනා මෙම ඛේදවාචකයේ ගොදුරු බවට වුණේ ඔහුන්ගේ සයමස් වියැති බිළිඳිය මෙලොව තනිකරමින්.
සිය ඉණෙන් පහළ කොටස බස් රථයට යටවී තිබිය දී තම සයමස් වියැති බිළිඳිය ආවරණය කරගෙන සිටි මවක ගේ ඒ සංවේදී දර්ශන බොහෝ දෙනාගේ හදවත් කම්පා කරවීමට සමත් වුණා.
අම්මාවරුන්ගේ ආදරය සීමා රහිත බවත්, එය දිවි පරදුවට තබා දරුවන් රැක ගැනීමට ඔවුන් සූදානම් බවත් මෙම සිදුවීමෙන් නැවත තහවුරු වුණා.
මෙම සංවේදී දර්ශන සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක් ජනිත කළ අතර, අනතුරෙන් මිය ගිය අඹු සැමි යුවළ ගැන දැන ගත් විට එම සංවේදනා තවත් ඉහළ ගියා.
අනතුර සිදු වූ අවස්ථාවේ තම දරුවා හා බිරිය ආසන්නයේම දී පියා වන රවි රාජා බස් රථයට යටවී මිය ගොස් සිටි අතර ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම විසින් පැය කිහිපයක මෙහෙයුමකින් පසුව, මව වන ලෙච්චමී සහ ඇගේ බිළිඳා රෝහල් ගත කෙරුණු අතර කෙසේ වෙතත්, රෝහල් ගත කිරීමෙන් පසුව ලෙච්චමී ජීවිතක්ෂයට පත් වීම සියලු දෙනාගේම ශෝකය තවත් වැඩි කරන්නට සමත් වුණා.
ඥාන මුත්තු ලෙච්චමී සහ සෙංගපුල්ලේ රවි රාජා යන අඹු සැමි යුවළ තම දරුවන් පස්දෙනා සමඟ මහනුවර ලෙච්චමීගේ මහ ගෙදර යාමට මෙම බස් රථයට කොස්ලන්දෙන් රාත්‍රී 12.20 ට පමණ ගොඩවී තිබුණා.
ඔවුන් කොස්ලන්ද සිට කිලෝමීටර් 120ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිටිය දී කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ දී බස් රථය අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම ඛේදවාචකය සිදු වී ඇත.
ලෙච්චමී සහ රවි රාජා යන දෙදෙනා කම්කරුවන් ලෙස සේවය කරමින් තම දරුවන් පස්දෙනා හදා වඩා ගැනීමට දැඩි වෙහෙසක් දැරූ අය බව ප්‍රදේශවාසීහු සඳහන් කරනවා.
වාසනාවකට මෙන්, දරුවන් පස්දෙනා අනතුරින් සුළු තුවාල ලබා ජීවත් වීමට වාසනාව ලැබුවද, ඔවුන්ගේ දෙමාපියන් දෙදෙනා ඔවුන් අතහැර ගොස් ඇත.
ඊයේ පස්වරුවේ මීරියබැද්ද වත්ත සුසාන භූමියේදී ඔහුන් අවසන් ගමන් ගියේ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැදයි.

















