BREAKING NEWS
Search

ඡන්දෙන් පැරදී ඡන්ද පාටියට හැදු කෑම බල්ලන්ට දුන් දකුණේ අපේක්ෂකයා

573

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබුණි.
ලොක්කා ඉල්ලපු ඉල්ලපු හැම පළාත් පාලන මැතිවරණයක්ම ජය ගත්තේය. ඒ ඔහු ගමේම සිටි කෙරුමා නිසාය. මීටත් වඩා දුෂ්කර කාලවලදී ලොක්කා ද පළාත් පාලන මැතිවරණය ජයගත්තේය.
අනෙක් කොට්ඨාස එකින් එක පරාජය වුවත් ලොක්කා තමන්ගේ කොට්ඨාසය පමණක් ගොඩ දා ගත්තේ තමන්ගේ පක්ෂයේ ලොක්කන්ගේද සම්පූර්ණ අවධානය තමන් සතු කර ගනිමිනි.
මේ පාර මැතිවරණයත් ඔහුට බඩේ බත් මෙන් ලොකු විශ්වාසයක් තිබුණේය. ඔහු වටා සිටි අයද අනුමත, සම්මත කළේ වරක් දෙවරක් නොව කිහිපවරක්ය. ඊට තවත් හේතු ගණනාවක්ම තිබිණ. මුළු ගමේම ප්‍රසිද්ධ තමාවීම එහි ප්‍රධාන සාධකය. මෙවර අනෙක් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබූ අය ගමේ ජනප්‍රිය චරිත නොවීම තවත් සාධකයකි. කිරි කජු කොල්ලන් කෙල්ලන්වීම ඊට නොදෙවැනි සාධකයකි. පවුල් බලය ධන බලය, පිරිස් බලය ද ඒ අතරය.

මේ නිසාම මෙවර මැතිවරණයේදිත් තමා ගොඩ නොයන්නේ යැයි සිතන්නට ඔහුට හේතුවක් තිබුණේම නැත. මැතිවරණය අවසන් වන සන්ධ්‍යාවේ තමා ජයග්‍රහණය කරන පාක්ෂිකයන්ට රෑ කෑම වේලක් ඇතුළු පාටියක් සූදානම් කළේ පෙර මැතිවරණවලදී මෙන්ය.
පස්වරු තුන, හතර වන විට ඔහුගේ නිවසේ ලොකු ලොකු බත් මුට්ටි පැසුණේ ඒ වෙනුවෙනි. කුකුළු මස් හොද්දේ සුවඳ ගමේම පැතිර ගියේ ඔහුගේ නිවස දෙසින්ය. නිවසේ මිදුලට වෙනදා නොආ මේස පුටු ආවේද මේ නිසාය.
මැතිවරණ ප්‍රතිඵලයෙන් ඔහු සීමිත මනාප ගණනකින් පරාදය.කප් එක ගසා සිටියේ කිරි කජු කොල්ලෙකි. ඔහුව දිනවන්න ඇපකැප වී වැඩ කළ අයද එදා පස්වරුවේ ඔහුගේ නිවසට නාවේ ඔහුගේ හැටි දන්නා නිසා ඡන්ද පාටිය එහේමමය. ඉදිනු බත්, මස් මුට්ටි ගණනද එහේමමය. මේ පරාජයෙන් ලොක්කාගේ කේන්තිය ඩබල්ය. ගමේ එකාලා එක්ක ඔහුට ඇතිවූවේ ලොකු තරහකි.
තමා පරාජය කළ ගමේ එකාලාට සලකනවාට වඩා බල්ලන්නට සැලකීම හොඳ යයි සිතුවේය. එය ඔහු ක්‍රියාවට නැංවීය. පාටියට ඉවූ කෑම හට්ටි පිටින් තීරෝද රථයකින් ගමේ බල්ලන්ට දෙන්නට ඔහු දෙදෙනෙක් යැව්වේ ඒ නිසාය. ඡන්ද පාටිය බලු‍ දානයක්වීම ගැන ආරංචිය  ගම පුරා පැතිර යන්නේ විදුලි වේගයටත් වඩා වැඩි වේගයකින්ලු‍

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *