බක්මහ උළෙලේ දී සගයාට කිරි කැවීමේ තරගයට තරුණියක සමග සහභාගී වී සිටි දියණියගේ පෙම්වතා දුටු මවක් දියණිය සමග ගොස් එම තරුණියට පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
තරගය ආරම්භ වී මද වේලාවක් යන විට කාන්තාවක් සහ තරුණියක් එක්වරම කඩා පැන තරගයට එක්ව සිටි තරුණියකට පහර දෙන්නට වූහ. සංවිධායකයන් දැඩි පරිශ්‍රමයක් දරා පහරදීම නතර කරගත් අතර අවුරුදු උත්සවය එකම කාලගෝට්ටියක් විය.
පහරකෑමට ලක්ව සිටි තරුණිය කිසිවක් සිතාගත නොහැකිව වික්ෂිප්තව සිටි අතර පහරදුන් තරුණිය සහ මව දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින අයුරු ද දිස්විය. තම දියණියගේ පෙම්වතා තවත් තරුණියක සමග සගයාට කිරි කවන ආකාරය ඉවසිය නොහැකිව ඔහු සමග සිටි තරුණියට පහරදුන් බව කාන්තාව පැවසීම නිසා බක්මහ උළෙල එකම සිනා සාගරයක් විය.
පෙම්වතා තරගයට ඉදිරිපත් වී සිටියේ තම ලොකු අම්මාගේ දියණියක වන අක්කා කෙනකු සමග බව බොහෝ දෙනා දැන සිටි අතර සිද්ධිය අවුරුදු උත්සවය පුරා පැතිර යාමට ද වැඩි කාලයක් ගත නොවීය.
පෙම් සබඳතාව නිමාවට පත් කරමින් පෙම්වතා ප්‍රසිද්ධියේම දැඩිව පෙම්වතියටත් ඇගේ මවටත් දෝෂාරෝපණය කළ අතර තරුණ තරුණයන්ගේ නොයෙක් උසුළු විසුළු මැද මව සහ දියණිය එම ස්ථානයෙන් පිටව ගියේ වචනයක්වත් නොකියා හිස පහත් කරගනිමිනි.

















