BREAKING NEWS
Search

වැලිකඩ පොලිසිය භාරයට ගැනීමෙන් පසු මියගිය තරුණයාගේ සිරුර ගොඩගැනේ

181

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය නිමේෂ් සත්සර නමැති තරුණයාගේ දේහය අධිකරණ නියෝගයකට අනුව අද පෙරවරුවේ ගොඩගනු ලැබුවා.

ඒ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහායි.

බදුල්ල – මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයාගේ මෘත දේහය වල දමා තිබුණේ ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි සුසාන භූමියේයි.

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 09 වනදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළා.

ඒ, තම පුත්‍රයාගේ මරණය සැක සහිත බවට ඔහුගේ දෙමාපියන් විසින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

වැලිකඩ පොලිස් භාරයේ සිටි මෙම තරුණයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 2 වනදා අළුයම් කාලයේදී මිය ගොස් තිබු අතර වැලිකඩ පොලිසිය විසින් 26 හැවිරිදි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය පළමුවැනිදායි.

තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇති අතර මෙම සිදුවීමේදී සිය රාජකාරි පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *