යල කන්නයේ දිස්ත්‍රික්ක 9ක ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර මුදල් අද ඔවුන්ගේ බැංකු ගිණුවලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරීස් ජනරාල් රෝහණ රාජපක්ෂ පවසනවා.
එලෙස රුපියල් මිලියන 120ක මුදලක් බැංකු ගිණුම්වලට බැරකරන බවයි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර යල කන්නයේ කුඹුරු වැඩ ආරම්භ කිරීමට පෙර සියලු ගොවීන් මී උණ වැළැක්වීමේ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.
එම ඖෂධ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේ ලබා ගත හැකි බවයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා කියා සිටියේ.
පවතින වැසි සහිත කාලගුණය මෙන්ම යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමග මී උණ ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා.
වසරේ මේ දක්වා රෝගීන් 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර කුඹුරු අවට ඇති මීයන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම, තුවාල, සීරීම් සහිතව මඩට නොබැසීම මී උණ වැළදීම වැළැක්වීමට අනුගමනය කළ යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයි.
එසේම කුඹුරු ආශ්‍රිතව මේ දිනවල අවුරුදු ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී ද මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දෙනවා.

















