ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 20 හැවිරිදි සිසුවෙකි.
ෆීනික්ස් අයිකර් නමැති මෙම සිසුවා, පොලිස් නිලධාරියකුගේ පුතකු බව පැවැසෙයි. ඔහු වෙඩි තැබීම කර ඇත්තේ, එම පොලිස් නිලධාරියාට අයත් රාජකාරි ගිනි අවියකිනි.
ෆීනික්ස් අයිකර් විශ්ව විද්‍යාලයට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමට පටන් ගනිද්දී, විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීහු පොලිසියට ඒ බව දැනුම් දුන්හ. වෙඩි තැබීම ආරම්භ වූයේ දහවල් කාලයේ විශ්ව විද්‍යාල සිසුන් අවන්හලේ ආහාර ගනිමින් සිටියදීය.
පොලිස් නිලධාරීන් පැමිණ වෙඩි තබා ෆීනික්ස් අයිකර් මෙල්ල කර ගත් බව පසුව වාර්තා විය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවන බව වාර්තා වේ.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ෆීනික්ස් අයිකර් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
















