ගම්පහ, අකරවිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සුමිත් නැමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම කර ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, ගම්පහ අකරවිට ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරුවේ මෙම වෙඩි තැබීම කර තිබුණා.
යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීම කර තිබූ අතර බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන කටුගස්තර සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඒ අතුරින් 34 හැවිරිදි චාමර සඳරුවන් නමැත්තා කෙසෙල්බද්දර පද්මේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, පසුගියදා ජීවිතක්ෂයට පත්වූ ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සුමිත් නමැත්තා මීට පෙර චාමර සඳරුවන් නමැත්තාට තර්ජනය කර තිබූ බවත්, ඒ අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටත් සැකයක් පවතින බවයි.
මේ අතර ගම්පහ මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේදී පසුගිය මස 26 වැනිදා සංජීවගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු කෙසෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයේ පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණා.



















