තුවාල සහිතව නීතිඥවරියකගේ නිවෙසක මිදුලේ වැටී සිටියදී හමුවූ මාධ්‍යවේදිනියකගේ සැමියාගේ මළසිරුර රහසිගතව සෝදා අලුත් ඇඳුම් අන්දවා තිබීම හා මරණය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්‍ෂණ සැක සහිතවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මරණකරුගේ පාර්ශ්වයේ නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා පෙරේදා (4දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කළේය.
ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන ශ්‍රියාණි විජේසිංහ මහත්මියගේ සැමියාගේ මරණය සිදුවූ ආකාරය ගැන වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
ඒ අනුව මෙම මස 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නොතිසි නිකුත් කළාය.
මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණේ අගොස්තිනුගේ හේමජීව නමැති දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ බිරිය “ලක්බිම” “මව්බිම” ඇතුළු ජාතික පුවත්පත් කිහිපයක කර්තෘ මණ්ඩලයේ සේවය කළ ප්‍රකට මාධ්‍යවේදිනියක වන ශ්‍රියාණි විජේසිංහ මහත්මියයි.
ත්‍රිරෝද රියැදුරකු ලෙස සේවය කරන හේමජීව මහතා 2025 ජනවාරි 01 වැනිදා සවස රැකියාවට ගොස් නැවත නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී පසුදින (2දා) අලුයම කළුබෝවිල ශික්ෂණ රෝහලේ දරුණු තැළුම් පහරවල් සහිතව මියගොස් තිබියදී සිරුර හමුවී ඇත. ඒ මහතා දෙහිවල, හිල්වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලේ වැටී සිටින බව නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබිණි.
ඒ අනුව දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තුවාල සහිත පුද්ගලයා පැය ගණනාවක් රෝහල්ගත කිරීමට කටයුතු නොකර තුවාලකරු සෝදා වෙනත් ඇඳුම් අන්දවා තිබීම සැකයට තුඩුදෙන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධිකරණයේදී කියා සිටියේය. මෙම මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය නිල විමර්ශනයක් කර නොමැති බවද හෙතෙම අධිකරණයට පැවැසීය.
මියගිය පුද්ගලයා වැටී සිටි නිවසේ හිමිකරු ඇතුළු නිවැසියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙහිදී නීතිඥ ගීත්ම මහතා සී.සී.ටී.වී. දර්ශන පෙළක් ද මහෙස්ත්‍රාත්වරිය හමුවේ පෙන්වීය.
මරණකරු එම නීතිඥවරියගේ නිවස පරිශ්‍රයට යන අයුරු එහි දර්ශනය වන බවද නීතිඥවරයා කියා සිටියේය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ මාධ්‍යවේදිනි ශ්‍රියාණි විජේසිංහ මහත්මිය සිය සැමියා එම නිවස පිහිටි භූමියට ඇතුළුවන සී.සී.ටී.වී. දර්ශන දක්නට ඇති බවත්, නැවත පිටතට නොපැමිණෙන අතර මෙය ද සැකයට තුඩුදෙන බැවින් එම නිවැසියන්ගෙන් නැවත ප්‍රකාශ ලබාගන්නා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛi නිලධාරි ඒ. දයාපාල මහතා සැමියා හැඳ සිටි ඇඳුම් ඉදිරිපත් කරන ලෙස දෙහිවල පොලිසියට තමා ඉදිරියේ දැනුම් දුන් බවද ඇය උසාවියට පැවැසුවාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීමත් මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකිවීමත් මත මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියෝග කළාය.
අදාළ නඩුව නැවත කැඳවීම මෙම මස 18 වැනිදාට කල් තැබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, ධර්මසේන වැලිපිටිය, පින්සිරි ආරියරත්න

















