මිලියන දෙකකට අධික ළදරුවන්ගේ ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ, ඔස්ට්‍රේලියානු රුධිර පරිත්‍යාගශීලියෙකු වන ජේම්ස් හැරිසන් අවසන් ගමන් ගොස් තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88ක් වූ බව සඳහන්.
Anti-D නමින් හැඳින්වෙන, දුර්ලභ සහ වටිනා ප්‍රතිදේහයක් ප්ලාස්මාවේ අඩංගු ඔහු, 1,100 වතාවකට වඩා රුධිරය පරිත්‍යාග කරැති බව කියවේ.
ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ ‘Lifeblood’ නම් සඟරාව මඟින් ද මේ බව තහවුරු කර ඇත.
ජේම්ස් හැරිසන් වඩාත් ප්‍රකට “රන් අතක් ඇති මිනිසා” මැයෙනි.
ඔහු සිය පරාර්ථකාමී මෙහෙවර ආරම්භ කර ඇත්තේ, වයස අවුරුදු 18 දී බව සඳහන්.
අනතුරුව ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාග සඳහා ඉහළ වයස් සීමාව වන වයස අවුරුදු 81 වන තෙක් ඔහු මෙම කාර්‍ය සිදුකළ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ගර්භනී මව්වරුන්ට ලබාදෙන ඖෂධයක් සෑදීමට Anti-D භාවිතා කරයි. එම ඖෂධය මඟින් ළදරුවන්ගේ රුධිර සෛලවලට පහර දෙන රීසස් රෝගය වළක්වන බව කියවේ.
එයාකාරයෙන් සිය රුධිරය පරිත්‍යාග කර ළදරු ජීවිත බේරූ හැරිසන්, එරට තුළ ජාතික වීරයෙකු ලෙස පිදුම් ලබන්නෙකි.
ඔහුගේ ත්‍යාගශීලීභාවය වෙනුවෙන් සම්මාන රාශියක් ද දිනා ඇති අතර, ඔස්ට්‍රේලියාවේ ඉහළම ගෞරවවලින් එකක් වන ‘Order of Australia’ සම්මානය ද ඒ අතර වන බව සඳහන්.



















