ලග්ගල ප්‍රාදේශීය රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් අවුරුද්දයි මාස 9ක් වයසැති බිළිඳියක මියගිය බවට මව්පිය දෙපළක් චෝදනා කරනවා.
මිය ගිය බිළිඳා රෝහලට ඇතුළත් කර තිබුණේ උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහායි.
ලග්ගල හත්තොටඅමුණ, කන්දෙපිටවල, ගම්මානයේ පදිංචිව සිටින සුරංග පුෂ්පකුමාර සහ ඔහුගේ බිරිඳ, උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා අවුරුද්දයි මාස නවයක් වයසැති සිය දියණිය පසුගිය දිනෙක ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා.
දින 2කට අධික කාලයක් බිළිඳිය එහි රඳවාගෙන ප්‍රතිකාර කරමින් සිටි බව මෙම මවුපියන් පවසනවා.
බිළිඳිය අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් දින දෙක හමාරකට පසුව දඹුල්ල මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.
බිළිඳියගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් දඹුල්ල මූලික රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත්, එහිදී ඇය ජීවිතක්ෂයට පත්වූ බවත් මවුපියන් ප්‍රකාශ කළා.
ලග්ගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවා මියගිය බවට ඔවුන් චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් ලග්ගල ප්‍රාදේශීය රෝහලෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
අනුරධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.
මේ අතර මියගිය බිළිඳිය වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ලග්ගල ප්‍රාදේශීය රෝහලේ පරිපාලනයට එරෙහිව මවුපියන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, විෂය භාර අමාත්‍යවරයාට, මාතලේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට සහ පොලිසියට පැමිණිලි කර තිබුණා.




















