ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහා මොලකරු ලෙස සැලකෙන, නීතීඥ වෙසින් අධිකරණයට ගිනි අවිය රැගෙන ආ 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය සොයා දිවයින පුරා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ අදාළ කාන්තාව මෙරට රැදී සිටින බවට ලද තොරතුරුවලට අනුවයි.
ඝාතනයෙන් පසුව ඇය අතුරුදන් වී ඇති අතර, ඇය විදෙස් රටකට පළාගොස් ඇති බවට ඇතැම් වාර්තා වල පළවූණා.
කෙසේ වෙතත්, එම කාන්තාව මෙරට රැදී සිටින බවට ලද තොරතුරුවලට අනුව ඊයේ දිනයේදී දෙහිවල සහ මතුගම යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එහෙත් ඇය සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා නොවූ බවයි පොලිසිය සදහන් කළේ.
එවන් පසුබිමක එම කාන්තාවගේ මිත්තණිය, මව සහ සහෝදරයා මරණ තර්ජන ඇතැයි පවසමින් ඔවුන් පදිංචිව සිටි මීගමුව පාරේ, ජය මාවතේ නිවස හැරගොස් තිබෙනවා.
මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තුන් දෙනෙකු පැය 48 ක රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම සැකකරුවන් තුන්දෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඝාතනයට යොදා ගත් ගිනි අවිය සන්තකයේ තබා ගැනීම, එය ඝාතනයට පෙර දින වෙඩික්කරු හට ලැබීමට සැලැස්වීම හා ඝාතනය සිදු කල වෙඩික්කරු සහ ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කිරීම ඔවුන්ට එල්ලවී ඇති චෝදනාවයි.
එම සැකකරුවන් අතර අවුරුදු 19 සහ 25 යන වයස්වල පසුවන අස්ගිරිය – වල්පොළ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද වනවා. ඔවුන් මීගමුව ප්‍රදේශයේ දුරකථන සන්නිවේදන ආයතනයක සේවය කරන බව සදහන්.
මේ අතර, අත්අඩංගුවට ගත් වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳුගේ පෙම්වතිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර තිබුණේ අවශ්‍ය වුවහොත් යළි කැඳවීමට සිදුවන බවට තොරතුරු පැහැදිලි කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, සංජීවගේ ඝාතකයා වූ කමාන්ඩෝ සමිඳු පළා යමින් සිටි වෑන් රථය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් 37 හැවිරිදි හසිත රොෂාන් නැමති අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම කොස්තාපල්වරයාගේ නිවස වැඩිදුරටත් කළ පරීක්ෂාවේදී එහි සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිවි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 7ක්, එම් 16 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩයක්, අයිස් මත්ද්‍රව්‍ය තැවරුණු විද්‍යුත් තරාදියක් සහ ඇක්වා වර්ගයේ මෝටර් රථයක් සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් දෙදෙනෙකුම පොලිස් කොස්තාපල්වරුන්. එමෙන්ම, හිටපු කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙකු ද සිටින බවයි පොලිසිය සදහන් කළේ.



















