ඔහු සහ මල් කැකුළු දෙකක් අවසන් ගමන් යැවූ පාතාලයේ ඝාතන රැල්ල ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

983
ඒ දරුවන් දෙදෙනාගේ ජීවිතය අහිමිවීම ගැන ගොඩක් දෙනෙක් කම්පා වෙනවා..

කිසිවෙකුටවත් වරදක් නොකෙරූ, මේ දරුවන්ගේ මරණය දකින්න තරම් මිනිසුන් කෘර වෙලාද..?

එහෙම නැත්නම් ඝාතන ඉලක්කයේ ගොදුරුබවට පත්වුණේ කොහොමද..? මේ ඒ කතාව ගැන පසු විපරමක්..

පාතාල ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින සිදුවන ඝාතන හේතුවෙන් මෙරටට අහිමි වන ජීවිත සංඛ්‍යාව ඉහළ අගයක පවතින බව නොරහසකි. මේ ඝාතන අතරට හයක් හතරක් නොදත්, අහිංසක මල් කැකුළුද බිලි වීම අහස පොළොව නුහුලන අපරාධයකි. පියාගේ අපරාධ ක්‍රියාකාරකම්වලට දරුවන් දෙදෙනකුටද වන්දි ගෙවන්නට වූ එවන් පුවතක් පසුගිය දින තංගල්ල මිද්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වූයේ එය ඇසූ සියලු දෙනා දැඩි සේ කම්පාවට පත් කරමිනි.

එහිදී පියා ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයේ ගොදුරු බවට පත් වන්නට කුඩා දරු දෙදෙනකුටද සිදු විය. කලක් තිස්සේ දකුණේ ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මේ ඝාතන තුනද සිදුව තිබේ.

තිස්නව හැවිරිදි විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා’ මිද්දෙණිය ගල්පොත්තයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තිදරු පියකු වන ඔහු දරු තිදෙනාද සමඟ ගල්පොත්තයාය ප්‍රදේශයේ පිහිටි නිවෙසේ පදිංචිව සිටී. බිරිය අමනාපයක් මත මොහුගෙන් වෙන්ව විදෙස් රටක ජීවත් වෙයි.

කලක සිට මිද්දෙණිය, තංගල්ල, කරන්දෙණිය, මීගස්ආර, මැදමුලන, වීරකැටිය අවට ප්‍රදේශවල විවිධ පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙමින් සිය අණසක පතුරුවාගෙන සිටි අරුණ ගල්පොත්තයාය ප්‍රදේශයේ කා අතරත් ඉතා ප්‍රසිද්ධිව සිටියේ ‘මිද්දෙණියේ කජ්ජා’ යන යන අන්වර්ථ නාමයෙනි. එමෙන්ම ඔහු කලක පටන් දකුණේ ප්‍රබල දේශපාලන පවුලක් සමඟද ඉතා සමීපව කටයුතු කළේය.

ඉකුත් අඟහරුවාදා (18) රාත්‍රී 10ට පමණ ඔහු සිය දරු තිදෙනාද සමඟ නිවෙසේ සිට අසල පිහිටි හෝටලයක් වෙත ගියේ රාත්‍රී ආහාරයට යමක් මිල දී ගැනීම සඳහායි. දරු තිදෙනා සමඟ යතුරුපැදියෙන් ගිය කජ්ජා සිය වැඩිමහල් දරුවා අසල පිහිටි මිතුරෙකුගේ කඩයක බස්සවා බාල දියණිය හා පුතු සමඟ යතුරුපැදියෙන් ඒ අසල වූ වෙනත් කඩයක් වෙත ගොස් තිබිණි. එහෙත් ඔවුන්ට යෑමට හැකි වූයේ ඉතා කුඩා දුරක් පමණි. ඔවුන් පසුපස යතුරුපැදියකින් හඹා ආ කුලී ඝාතකයන් දෙදෙනකු විසින් ධාවනය වෙමින් තිබූ කජ්ජාගේ යතුරුපැදියට වෙඩි වරුසාවක් එල්ල කරනු ලැබීය. වෙඩි ප්‍රහාරයත් සමඟ කජ්ජා යතුරුපැදියෙන් බිම ඇද වැටෙන්නේ දරු දෙදෙනා ද සමඟිනි. බිම වැටුණු පසුවද තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ කුලී ඝාතකයෝ අසුරු සැණෙකින් එම ස්ථානයෙන් පලා ගියහ.

මේ වෙඩි ප්‍රහාරයෙන් කජ්ජා එම ස්ථානයේදීම මිය ගියේය. වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ 6 හැවිරිදි දියණිය සචිනි අහංසා සහ 8 හැවිරිදි කලිඳු අමිස් යන දරුවන් මූලික ප්‍රතිකාර සඳහා වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, පසුදා (19) දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලටත්, පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලටත් පිටත් කරනු ලැබූහ. එහිදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු 6 හැවිරිදි දියණියද මිය ගිය අතර, ඇඹිලිපිටිය මූලික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටි පුත්‍රයාගේ තත්ත්වයද බරපතළ වීම හේතුවෙන් ඔහු එදිනම කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවිණි. එහිදී පුතුද 19 දින සවස මියගිය බව පොලීසිය ප්‍රකාශ කළේය.

මේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කේ.එච්. නවෝදා මහත්මිය එම ස්ථානයට පැමිණ 19 දින පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය. එහිදී සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා, එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළාය.

ඝාතනය සිදු වූ ස්ථානයට පැමිණි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථාන පරීක්ෂණය ද සිදු කෙරුණූ අතර, ඝාතනයට ලක්ව සිටි කජ්ජා බිම වැටී සිටි ස්ථානයේ තිබී මාංචු කුට්ටම් දෙකක්ද එහිදී සොයාගනු ලැබීය. මේ මාංචු කුට්ටම් දෙක ඝාතනයට පැමිණි පුද්ගලයන් විසින් දමා ගියේද, එසේත් නැති නම් සැකකරු සන්තකයේ තිබූ එකක්ද යන්න පිළිබඳවද පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

මිද්දෙණියේ සිදු වූ මේ ත්‍රිත්ව ඝාතනයත් සමග ඒ සම්බන්ධයෙන් දකුණේ ප්‍රබල දේශපාලන පවුලකට මේ වන විට ඇඟිල්ල දිගු වෙමින් තිබියදී රජයේ පාර්ශ්වයෙන්ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ඝාතනයට ලක් වූ කජ්ජා නමැත්තා මිය යෑමට පෙරාතුව මාස කීපයකට පෙර එක්තරා යූටියුබ් නාළිකාවක් ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ තමා දකුණේ ප්‍රබල දේශපාලන පවුලක් සමඟ ඉතා සමීපව කටයුතු කළ බවත්, ඔවුන් පවරණ හොඳ හෝ නරක ඕනෑම රාජකාරියක් ඔහු ඉටු කළ බවත්ය. පසුව තමා ඔවුන්ගෙන් ඉවත් වූ බවත්, ඒ හේතුවෙන් අදාළ දේශපාලන පවුල තමා සමඟ විරසකව සිටි බවත් හෙළි කළ ඔහු, ඔවුන් තමා ඝාතනය කිරීමට උත්සාහ තරමින් සිටින බවටත් චෝදනා එල්ල කර තිබිණි.

කෙසේ වෙතත් මේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි තංගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන කටයුතු සඳහා පත් කර තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණේ ඔහුගේ පැටිකිරියද එතරම් හොඳ එකක් නොවූ නිසාය. එහිදී සිදු කළ මූලික පොලිස් විමර්ශනවලදී ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිව දකුණේ පොලිස් පොත්වල ලියූ පැමිණිලි රැසක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අතරට 2017 වර්ෂයේදී මිද්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් කොල්ලකෑම, 2019 වර්ෂයේ ඇඹිලිපිටියේදී පුද්ගලයකුට මරණීය තර්ජනය කිරීම, ඒ වසරේදීම පුද්ගලයන් කිහිප දෙනකුගෙන් කප්පම් ගැනීම, බෙලිඅත්ත නගරයේදී ජීප් රථයක් කොල්ලකා පලායෑම, ටී56 වර්ගයේ ගිනිඅවියක් හා ජීව උණ්ඩ 30ක් සන්තකයේ තබාගැනීම, 2021දී බස් රථයක් කොල්ලකෑම, බූරු පිටි කිහිපයකට පැන එහි තිබූ මුදල් කොල්ලකෑම මෙන්ම පුද්ගල ඝාතන 3ක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන්ද ඝාතනයට ලක් වූ පුද්ගලයාට චෝදනා ලැබ තිබේ. මේ ඝාතනයට ලක් වූ පුද්ගලයා කලක් තිස්සේම දකුණේ ප්‍රබල දේශපාලන පවුලක රැකවරණය ලබමින් සිටි නිසා අපරාධ සිදු කළත්, ඔහුට ඒවායෙන් බේරීමට රැකවරණය ලැබී තිබූ බව නොරහසකි. මේ නිසාම ඝාතනයට ලක් වූ හෝ පුද්ගලයාගේ ප්‍රතිවිරුද්ධ පුද්ගලයන් දිනෙන් දින ඔහු ඝාතනයට මාන බලමින් සිට ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ අතර මෙම ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ද බවට සැකකරන පොලිස්කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිකුරාදා (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර කොස්තාපල්වරයා මේවන විට සක්‍රිය සේවයේ නිරතව සිටින අයෙකි.

සිළුමිණ පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *