උදෑසන අලුත් කඩේ අධිකරණය තුලදී වෙඩි තබා ඝාතනය කළ අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාගේ ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
අද (19) උදෑසන 10.00ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී වෙඩි තබා ඝාතනය කළ අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකු යොදවා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි.
මෙහිදී අධිකරණ පරිශ්‍රය තුල නීතිඥ වෙසින් සිටි පුද්ගලයෙකු විත්තිකරු විත්ති කූඩුවෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව රිවෝල්වරයද එම ස්ථානයේ අතහැර දමා විත්තු කූඩුව ආසන්න දොරකින් පලා ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.
එම අවස්ථාවේදී එම වෙඩික්කරු විසින් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට, ඇතුලේ වෙඩි තැබීමක් සිදුවන බව පවසමින් පිටව යාමත් සමග අධිකරණ පරිශ්‍රයේ සිටි පිරිස් ඉන් කලබලයට පත් වීම හේතුවෙන් මෙම පුද්ගලයා මඟ හැරීමකට ලක්ව ඇති බව ඔහු සඳහන් කළා.
එමෙන්ම, මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් අධිකරණ රාජකාරීන් සඳහා භාවිත කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමින් හැඳින්වෙන පොත තුල ඉතා සූක්ෂම ආකාරයෙන් පිටු කපා දමා මෙම රිවෝල්වරයා සඟවාගෙන පැමිණ ඇති බවත්, ඒ සඳහා සහයෝගය ලබා දුන් නීතිඥ වෙසින් සිටි කාන්තාවක විසින් මෙම පොත ඔහුට අධිකරණ සංකිර්ණය තුලදී ලබා දුන් බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි.
මෙම සැකකරුවන් දෙදෙනාම මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවත් ඔහු පැවසුවා.
එමෙන්ම, යම්කිසි අවස්ථාවක මොවුන් රටින් පලා යාමට ගනු ලබන උත්සාහයන් ව්‍යර්ථ කිරීමේ අරමුණින් මේ වනවිටත් අදාල අංශ දැනුම්වත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
අධිකරණ පරිශ්‍රයක් තුලදී විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගේ ශරීර පරීක්ෂාකිරීමක් මෙතෙක් සිදුනොකළ බවත්, එම කරුණ ප්‍රයෝජනයට ගනිමින් මෙම සැකකරු අධිකරණය පරිශ්‍රයට ඇතුළු වීමක් සිදුකර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා එහිදී පැවසුවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඉදිරියේදී නීතීඥ සංගමය සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ නීතීඥවරුන්ද ශරීර පරීක්ෂාවකට භාජනය කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත්, වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් පරිදි අධිකරණ පරිශ්‍රයේ රැඳී සිටින ආරක්ෂක නිලධාරීන්ද පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම වෙඩි තැබීම සහ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ කණ්ඩායම් 05ක් යටතේ විමර්ශන සිදුකරමින් පවතින බවත්, සැකකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම, මෙලෙස වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු සීසීටීවී දර්ශන පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අ (19)ද එහි රෙජිස්ටර්වරයාට නියම කරනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලිසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කරුණු වාර්තා කර තිබෙනවා.
කෙසෙල්වත්ත පොලිසියේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධය සිදුවූ විගසම ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බව පැවසුවා.
අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත්, ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලිසියට අවශ්‍ය කරන සීසීවී දර්ශන මුදා හැරීමට පියවර ගන්නා ලෙස අධිකරණයේ ලේඛකාධිකාරියට නියම කළා.


















