BREAKING NEWS
Search

අද සහ හෙට විදුලි කප්පාදුව සිදුවන වේලාවන් මෙන්න

4825

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එම යෝජනාවට අනුව අද (10) සවස සහ හෙට (11) සවස පැය එකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සහ 09.30 දක්වා කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මකවෙන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් පවසා සිටියේ.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම නිසා අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන නැවත ක්‍රියාත්මක කිරීමට දින තුනක් හෝ හතරක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති.

විදුලි සැපයුම විසන්දිවීමත් සමඟ නොරොච්චෝලේ විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවල ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එම යන්ත්‍ර අක්‍රීය වන බවත් එම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කිරීමට දීන කීපයක්ගත වන බවත් ඉංජිනේරුවෝ සඳහන් කළහ.

නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරය ඉදිකරන අවස්ථාවේදී එම ජනන යන්ත්‍ර පද්ධතිය මෙවැනි අවස්ථාවකට පත්වූ විට සිසිල් කරන ආකාරය පිළිබඳව කටයුතු නොකිරීම මෙයට හේතුව බවත් පසුගිය වසර කීපය තුළ මේ ආකාරයට සමස්ත රටටම විදුලිය විසන්දි වුවද එම එකම අවස්ථාවකදී හෝ නිෂ්චිත පියවරක් නොගත් බවත් ඔවුහු කියති.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයකින් දිනකට මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකි බවත් එම විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කළ හොත් දිනකට මෙගාවොට් 800 අධික ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කළ හැකි බවත් ඉංජිනේරුවෝ වැඩි දුරටත් සඳහන් කළහ.

මෙම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කරන තෙක් විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා තාප විදුලිය මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති අතර එය තව දුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *