BREAKING NEWS
Search

වයස 23දී, පැය තුන­කට ලංකාවේ ජනාධිපතිනිය වූ අත්තනගල්ලේ තනූජා කියන පුදුම හිතෙන කතාව…

3334
පැයකට හෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය වී රාජ්‍ය උත්සවයක ප්‍රධාන ආරාධිතයා වන්නටත් අගමැති, මැති-ඇමතිවරුන්ගේ සහ ත්‍රිවිධ හමුදාවන්ගේ සම්මාන ආචාර ලබන්නත්, ජන සමූහයක් මැද ජාතික ධජය ඔසවන්නත්, ජාතිය අමතන්නත් අවස්ථාව ලැබේ නම්, ඊට වඩා අසිරිමත් අත්දැකීමක් තවත් තිබේද?

සැබෑ ජීවිතයේ ඒ අපූර්ව අවස්ථාව හිමි කරගත් සුන්දර ප්‍රභූ ආරක්ෂක නිලධාරිනියක අපට හමුවුණා.

ඈ නමින් තනූජා ප්‍රියදර්ශනී විතානගේ.

”මේ අපූරු අත්දැකීමට මුහුණු දෙන කොට මට අවුරුදු 23ක්. මම ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රභූ ආරක්ෂක සේවාවට ඇතුළත් වන්නේ උසස් පෙළ අවසන් වසරෙදි. එවකට මම විසි හැවිරිදි තරුණියක්. ප්‍රභූ ආරක්ෂක සේවයට මම බඳවා ගනු ලැබූයේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමීප ප්‍රභූ ආරක්ෂක සේවාවට කාන්තාවක අවශ්‍ය වූ නිසා. ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂක සේවාවට කාන්තාවක ඇතුළත් වූ ප්‍රථම අවස්ථාවත් මේක. මම ජනාධිපතිනියගේ සමීප ආරක්ෂක නිලධාරිනිය වූණා.”

තනූජා ප්‍රියදර්ශනී පැය තුනකට ශ්‍රී ලංකාවේ ‘ජනාධිපතිනිය’ වූ ඒ ඓතිහාසික මොහොත විස්තර කළේ මේ විදිහට…
“නිදහස් උලෙළේ ජනාධිපතිනිය නියෝජනය කිරීමේ අවස්ථාවට මුහුණ දෙද්දී මගේ වයස 23යි. කොටින්ම ඒ වන විටත් පාසල් ජීවිතයේ කෙළිලොල් ගතිය මගෙන් ඈත් වී තිබුණේත් නැහැ. චන්ද්‍රිකා මැඩම් සහ මා අතර ඉතා ළෙන්ගතු සුහදතාවක් තිබුණා. මැඩම් එක්ක ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට මම ගොස් තිබෙනවා. මැඩම් එක්ක ගමන් යන විට මා බොහෝ විට ඇන්දේ සාරිය. මා ලස්සනට ඇඳලා ඉන්නවා දකින්න මැඩම් කැමැතියි. ප්‍රභූ ආරක්ෂක සේවයේ අපි ‘රිංග් රවුන්ඩ්’ නමින් හඳුන්වනු ලබන සමීප ආරක්ෂක වළල්ලේ රාජකාරි කළ එකම කාන්තාවත් මම පමණයි. එදා 2003 පෙබරවාරි 3 වැනිදා. නියමිත පරිදි අපි උදේ ප්‍රභූ ආරක්ෂක සේවය සඳහා සූදානම්ව කොටුව ජනාධිපති මන්දිරයේ සිටියා. එදිනට නියමිතව තිබුණේ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන නිදහස් උලෙ‍ළේ අවසන් පෙරහුරුවයි.

“ඇතැම් අවස්ථාවල මම ජනාධිපතිනිය සමඟ ඇය ගමන් කරන වාහනයේම යනවා. එසේ නොවන අවස්ථාවල මැඩම්ගේ කාර් එක පසුපස යන ප්‍රභූ ආරක්ෂක වාහනයක ගිහින්, මැඩම් මෝටර් රථයෙන් බසින අවස්ථාවේ සිට ඇයට ආරක්ෂාව දෙනවා. අපට නියමිතව තිබුණේ නිදහස් චතුරස්‍රය වෙත යෑමට. අප දැන සිටියා අවසන් පෙරහුරුවේ ටයිමින් ඉතා නිවැරදිව සිදු කෙරෙන බව.

“ජනාධිපතිනියගේ නිල රථය ජනාධිපති මන්දිරයේ ආලින්දය අසල නවත්වා තිබුණා. අප හැම දෙනාම නොඉවසිල්ලෙන් සිටියේ ජනාධිපතිනිය ඉහළ මාලයේ සිට පහතට පැමිණෙන තුරු. එහෙත් ඇය පහළට පැමිණියේ නැහැ. ජනාධිපතිනියගේ ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉක්මන් ගමනින් පහළට පැමිණ, ‘කෝ තනූජා, ඉක්මනට වෙහිකල් එකට නඟින්න. අපි පිටත් වෙන්න හදන්නේ’ කිවුවා. එතකොටත් ස්කෝඩ් එක රෙඩි. කුමක්ද වෙන්නේ කියලා මට පැහැදිලි අවබෝධයක් තිබුණෙත් නැහැ.

‘සර් මට මොනවද කරන්න තියෙන්නේ?’ මම කාර් එකට නඟින ගමන් ඇහුවා.

‘ඔයාට මොනවත් කරන්න නැහැ. මැඩම් ඉන්නවා වගේ ඉන්න විතරයි තියෙන්නේ’ කියලා ඩීඅයිජී මහත්තයා කිවුවා.

“මම කාරෙකේ පිටුපස සීට් එකේ වාඩි වුණා. චන්ද්‍රිකා මැඩම්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි ඩැනිස්ටර් මහතා ඉදිරි අසුනේ වාඩි වුණා. රියැදුරු සමඟ අපි පිටත් වුණා. අප ගමන් කළ ජනාධිපතිනියගේ නිල රථය මැදි කරගෙන ස්කොඩ් එක ඉදිරියට ගියා. කුරුඳුවත්ත වටරවුමට පැමිණෙන විට නිදහස් මාවතේ ධජපතාක ඈතින් ලස්සනට පෙනුණා. නිදහස් මාවත ආරම්භයේ සිට පොලිස් යතුරුපැදි කණ්ඩායමත්, යුද හමුදා යතුරුපැදි කණ්ඩායමත්, පොලිස් අශ්වාරෝහක කණ්ඩායමත් අප ඉදිරියෙන් ගමන් කළා.

“මේ මොහොතේ මා ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය හැටියට ක්‍රියා කළ යුතු බව එවිට මට තේරුම් ගියා. ඇත්තටම චකිතයක් ඇති වුණේ නැහැ. එන පිළිවෙළට ශක්තිමත්ව මුහුණ දෙනවා කියන අධිෂ්ඨානය මා තුළ ගොඩනැඟුණා. ඒ අවස්ථාව වන විට අගමැති රනිල් වික්‍රමසිංහ සහ මැති-ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සියලු දෙනා උත්සව භූමියට සම්ප්‍රාප්ත වී අවසන්. ඉතිරිව තිබුණේ ජනාධිපතිනියගේ සම්ප්‍රාප්තිය.

“මා ගමන් කළ මෝටර් රථය ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රය අසල ඉදි කොට තිබූ පීඨීකාව අසල නවත්වන විට සෙරමෝනියන් කිට් වලින් සැරසුණු නිලධාරියකු කාරෙකේ දොර ඇරියා. මා රියෙන් බසිද්දී පොලිස්පති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, යුද හමුදාපති සැලියුට් කර මා පිළිගත්තා. අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, මැති-ඇමැතිවරුනුත් මා පිළිගත්තා. ඇත්තටම එය රාජකීය ප්‍රොෙටා්කෝලයට පිටින් සිදු වූ දෙයක්. ජනාධිපතිනිය වෙනුවට මෝටර් රථයෙන් මා එළියට බසිත්ම හමුදාපතිවරුන් තුළ යම් වික්ෂිප්ත බවක් ඇති වෙන්න ඇති. එහෙත් මා එය දුටුවේ නෑ. හමුදාපති ‍ෙජනරාල් ලයනල් බලගල්ල, නාවික හමුදාපති රියර් අද්මිරාල් දයා සඳගිරි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා සහ පොලිස්පති ටී. ආනන්ද රාජා මහත්වරුන් රතු පලස මතින් මා කැඳවාගෙන ගියේ එහි ඉදි කර තිබූ පීඨිකාව වෙතට. සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මට හිතන්න අවශ්‍ය වුණේ නැහැ. ශබ්ද විකාශ යන්ත්‍රවලින් නිවේදන කටයුතු කළ අය ඉතා ගම්භීර හඬින් ‘දැන් ගරු ජනාධිපතිනිය ජාතික ධජය එසවීම සඳහා කැටුව යනවා…’ ආදි වශයෙන් කියන විට මා ඒ අනුව ගමන් කළා.

“කොළඹ ප්‍රධාන පාසල්වල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ජාතික ගීය ගායනා කළා. සීරුවෙන් සිටිමින් මමත් පාසලේදී මෙන් ඔවුන් සමඟ ජාතික ගීය ගායනා කළා. ඒ මොහොතෙ නම් මට අපේ පාසල මතක් වුණා. ජාතික ධජය එසවීම සඳහා දීර්ඝ වේලාවක් රෝදය කැරකිය යුතු වුණත් මට එය අසීරු වුණේ නෑ. සමහර විට ඔවුන් හිතන්න ඇති මා ජනාධිපති කාර්යාලයේ ලේකම්වරියක, නැතිනම් අමාත්‍යාංශයක ලේකම්වරියක කියා.

“ඒ හැරෙන්න එහි සිටි වෙනත් කිසිවකු ජනාධිපතිනිය උත්සවයට සහභාගි නොවූ බව දැන සිටියේ නෑ. අසල සිටින අයට හැර, ඒ ස්ථානයට ඈතින් සිටින කිසිවකුට පෙනෙන්නෙත් නැහැ. දහස් ගණනක් එතැන සිටියත් පුදුම නිහැඬියාවක් තිබුණේ. අවුරුදු විසිතුනක පොඩි කෙල්ලක් පැය කිහිපයකට ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙලා!

“මම ජනාධිපතිනිය විදිහට ජාතිය අමතන පෝඩියම් එක ඉදිරිපිට සිටගත්තා. මගේ පිටුපස ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති සීරුවෙන් සිටගෙන සිටිනවා. ඒක නම් අපූරු අත්දැකීමක්. ජනාධිපතිනියගේ ප්‍රකාශය අවසන් වීමෙන් පසු අපි සන්නද්ධ හමුදා ආචාර පෙළපාළිය පිළිගත්තා.

“එදින මේ සිදුවීම දැක්කේ අගමැති, හමුදා නායකත්වය සහ ප්‍රභූ ආරක්ෂක අංශය ඇතුළු සීමිත පිරිසක් පමණයි. ඒත් පසුදින පුවත්පත්වල ඡායාරූප සමඟ විස්තර පළ වූ විට, පත්තර කන්තෝරු දිගින් දිගටම කෝල් කරමින් මාව සොයන්නට පටන් ගත්තා. අපේ ස්ටාෆ්වල අයත් විහිළු කරන්න පටන් ගත්තා. එවිට මට උපදෙස් ලැබුණා මේ සම්බන්ධයෙන් විමසන කිසිම දුරකතනයකට පිළිතුරු දෙන්න එපා කියා.

“වසර 2005දී මම පොලිස් සේවයෙන් ඉවත් වුණා. ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ලද අත්දැකීම්, දැනුම හා බුද්ධිය ජීවිතය ඉදිරියට මෙහෙයවීමට මට විශාල ශක්තියක් වූ බව සඳහන් කළ යුතුමයි. පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබීමෙන් පසු මා ආරම්භ කළ පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනයට ‘බ්‍රයිට්’ පෙර පාසැලට මේ වන විට වසර 16ක් ගත වී තිබෙනවා. දැනට ගුරුවරියන් 6 දෙනකු මගේ ආයතනයේ සේවය කරනවා. ඊට අමතරව මනෝ වෛද්‍ය උපදේශිකාවක වශයෙන්ද මා කටයුතු කරනවා.

“ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. අප කිසිසේත් අපේක්‍ෂා නොකරන අහඹු අවස්ථා අපට උදා කරනවා. ඒ අතින් මම හැබෑම වාසනාවන්තියක්”
සිළුමිණ පුවත්පතේ ලිපියක් ඇසුරින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *