BREAKING NEWS
Search

ලැගුම්හලේ විදේශිකයාගේ අබිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට

38
කොල්ලුපිටියේ ලැගුම්හලක සිටි 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
ඇගේ කාමරයේම නවාතැන් ගෙන සිටි තවත් ජර්මානු ජාතික අඹුසැමි යුවළක් ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් කාන්තාවගේ තත්ත්වය ද බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

සිද්ධියට හේතුව විෂ වායුවක් ආඝ්‍රාණය වීමක් ද නැතහොත් ආහාර විෂවීමක් ද යන්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි ලැගුම්හලකට විදෙස් ජාතිකයින් තිදෙනෙකු පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදායි.

එම විදෙස් ජාතිකයින් අතර 30 හැවිරිදි ජර්මානු ජාතිකයෙක්, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ 24 හැවිරිදි වියේ පසුවන තවත් එංගලන්ත ජාතික කාන්තාවක් ද සිට තිබෙනවා.

31 වැනිදා ද එම විදෙස් ජාතිකයින් තිදෙනා එම ලැගුම්හලේ 03 වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති අතර ඊයේ ඔවුන් හදිසි රෝගි තත්ත්වයකට මුහුණ පා තිබුණා.

උදරයේ වේදනාව, අධික හිසරදය සහ ඇඟපත වේදනාව යන ලක්ෂණ ඔවුන්ට පැවැති බවයි වාර්තා වුණේ.

ඔවුන්ගේ තත්ත්වය ඊයේ රාත්‍රියේ තරමක් බරපතල අතට හැරීම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොළඹ ජාතික රෝහලටයි.

කෙසේවෙතත් ඔවුන් අතර සිටි එංගලන්ත ජාතික කාන්තාවගේ රෝගි තත්ත්වය උත්සන්න වීම නිසා ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ සින්ටෝච් ඊබොනි ලොයිස් නමැති කාන්තාවක්.

ඇගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන ජර්මානු ජාතික කාන්තාවගේ ද තත්ත්වය බරපතල බවයි.

මෙම සිදුවීමෙන් පසුව විදෙස් ජාතිකයින් රැඳී සිටි කාමරයට අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් යොදවා පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව එම කාමරය මුද්‍රා තබා තිබෙනවා.

එම කාමරයට යාබද කාමරය පසුගිය 30 වැනිදා ෆොස්ෆීන් වායුව යොදා ධූමකරණය කර ඇති අතර පොලිසිය සඳහන් කළේ කෘමීන් මර්දනය සදහා භාවිතා කරන එම වායුව කාමරයකට යෙදීමෙන් පසු පැය 72ක් අදාළ ස්ථානය වසා තැබිය යුතු බවයි.

එම කාමරය වසා තැබීමට ලැගුම්හලේ සේවකයින් කටයුතු කර තිබුණත් යම් හෙයකින් එය ආඝ්‍රාණය වීමෙන් විදෙස් ජාතිකයින් තිදෙනාට මෙම රෝගි තත්ත්වය හටගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ ලැගුම්හලට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද කැඳවා ආහාර විෂවීමකින් මෙම මරණය සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම අදාළ විදෙස් ජාතිකයින් තිදෙනා ඊයේ රාත්‍රියේ ආහාර ගත් හෝටලය පරික්ෂා කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ලැගුම්හලේ නවාතැන් ගෙන සිටින අනෙක් සංචාරකයින්ගේ ආරක්ෂාව සලකා ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට ලැගුම්හල් කළමනාකාරීත්වයට දැනුම් දුන් බවයි.

ඒ අනුව එහි සිටි සංචාරකයින් 18 දෙනා ලැගුම්හලෙන් පිටව ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලැගුම්හලේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අලුත්කඩේ අංක 02 වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙතද කරුණු වාර්තා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *