මගෙ තාත්තා වැඩ කළේ පොලීසියේ. එයා පොලිස් පරීක්ෂකවරයෙක්. මම පවුලේ වැඩිමලා. මට බාල නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මගෙ අම්මත් එක්ක අපිට හරි ලස්සන පවුලක් තිබුණා. තාත්තා පොලීසියේ කියලා කවදාවත් ආඩම්බර නැහැ. එයා අපිට වගේම තමයි අහල පහල ළමයින්ටත් සැලකුවේ. තාත්තා එයාගේ පවුලේ අයටත් හරිම ආදරෙයි.
මගෙ තාත්තා අපෙන් වෙන්වෙනකොට මට අවුරුදු දාසයක් විතර ඇති. ඒක මහ අපරාධයක්. තාත්තා හැමදාම නීතිය අකුරටම රැකපු කෙනෙක්. රටේ විවිධ පැතිවල තාත්තා සේවය කරලා තිබුණා. අම්මා තාත්තා හරිම සමගියෙන් හිටිය දෙන්නෙක්. ඒත් ඒ හැම සුන්දරකමක්ම නැති වෙලා යන්න ලොකු කාලයක් ගියේ නැහැ.
දවසක් මහ රෑක අපේ ගෙදරට වාහනයක් ආවා. ඒ ආවේ තාත්තා එවකට වැඩ කරපු පොලීසියේ වාහනේ. අම්මයි මමයි දෙන්නම එළියට බැස්සේ එකට.
පොලිසීයේ වැඩ කළ තාත්තාගේ යාළුවා ඇවිල්ලා මගෙ අතින් අල්ලගත්තා.
“ඇයි මාමේ…?“ මම එයාගෙන් එහෙම ඇහුවා.
“තාත්තට පොඩ්ඩක් අසනීපයි… දැන් ඉස්පිරිතාලේ ඉන්නේ….“ ඔහු එහෙම කිව්වාම අම්මා අඬා වැටෙන්න ගත්තා. අපි ඔක්කෝමල්ලා ඒ රෑම ජීප් එකේ නැඟලා ඉස්පිරිතාලෙට ගියා. එතැනදී තමයි දැනගත්තේ තාත්තා වාහනේක හැප්පිලා කියලා. ඒත් අපිට තාත්තා එක්ක වචනයක්වත් කතා කරන්න බැරි වුණා. අපි යනකොටත් තාත්තා මිය ගිහිල්ලා. අපේ ජීවිත කඩාවැටෙන්න ගත්තේ එතැන ඉඳලා. අම්මා, නංගි, මල්ලි, මම, අපි ඔක්කෝම තනි වුණා. තාත්තගේ ඥාතීන් අපේ අම්මගේ ඥාතීන් අපිව ආදරෙන් බලාගත්තා. ඒත් මට නම් වුවමනාව තිබුණේ තාත්තගෙ මරණයට වගකිවයුතු පුද්ගලයාව අල්ලගන්න. ඒත් අම්මා හැම තිස්සෙම මගෙ හිත හදන්න උත්සාහ කළා. නංගිටයි මල්ලිටයි ඉන්න එකම හයිය මම විතරයි කියලා අම්මා හැමවෙලේම මට මතක් කරලා දුන්නා. තාත්තා අපට කියලා ගෙයක් හදලා තිබුණ නිසා අපිට කා ළඟටවත් යන්න ඕන වුණේ නෑ. අම්මා වුණත් අපි වෙනුවෙන් හිත හදාගෙන ජීවත් වෙන්න පුරුදු වුණා. ඒත් තාත්තා නැති අඩුව අපේ හිත්වලට හැම මොහොතකම දැනුණා.
උසස් පෙළ පාස් වුණාට මට තවත් ඉහළට ඉගෙන ගන්න ඕන වුණේ නෑ. මට ඕන වුණේ නංගිටයි මල්ලිටයි උගන්වන්න. මම පෞද්ගලික ආයතනයක රස්සාවට ගියා. එතැන මට හොඳ පිළිගැනීමක් තිබුණා. මමත් ඒ රස්සාව බොහෝම ආසාවෙන් කළේ.
කාලය ගෙවිලා ගියා. අම්මා ගෙදර හිටිය නිසා නංගියි මල්ලියි ගැන බයවෙන්න දෙයක් තිබුණේ නැහැ. එයාලා හොඳින් ඉගෙන ගත්තා. තාත්තා නැති අඩුව මට තරම් එයාලට දැනුණේ නැහැ කියලා මට විශ්වාසයි. ඇත්තම කිවුවොත් මම එයාලාට ‘තාත්තා‘ වුණා කිව්වොත් හරි.
මගෙ නංගි අම්මා තරුණ කාලේ වගේම ලස්සනයි. එයා හරිම හුරුබුහුටි ලස්සන කෙල්ලක්. මගේ ජීවිතේ වෙලා තිබුණේ අම්මයි නංගියි මල්ලියි විතරයි. මල්ලි උසස් පෙළ කළේ විද්‍යා අංශයෙන්. එයා වෛද්‍ය විද්‍යාලයට තේරුණා. එදා තරම් මගෙ අම්මා කවදාවත් ජීවිතේ සතුටු වෙන්න නැතිව ඇති. තාත්තාගේ මරණය නිසාම ජීවිතේ අත්ඇරලා වගේ අම්මා හිටියේ. අම්මා ආයේ ජීවත් වෙනවා කියලා මට දැනුණේ මල්ලි විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ. හැම පෝයටම අම්මා නංගිත් එක්ක පන්සල් ගිහින් සිල් ගත්තා. අපේ ගෙදර තිබුණේ හරිම නිස්කලංක බවක්. මගෙ නංගි හරිම නිහඬ ළමයෙක්.
“ලොකු අයියේ, අපේ පන්තියේ ළමයි විනෝද ගමනක් යනවා මමත් යන්නද?“ නංගි දවසක් මගෙන් ඇහුවා. මම අම්මගෙ දිහා බැලුවා.
අම්මා නිහඬයි.
“කොහෙද යන්නේ…“
“නුවරඑළියේ… මමත් යන්නද…?“ නංගි ඇහුවා.
“අම්මවත් එක්කගෙන යන්න…“ මම කිවුවා.
අම්මා හිමීට හිනා වුණා. කොහොමහරි නංගි නුවරඑළියේ ගියේ අම්මත් එක්ක. දවස් තුනකට පස්සේ එයාලා ගෙදර ආවා. කාලය හෙමීහිට ගෙවිලා ගියා.
මේ කාලේ වෙනකොට මගෙ වයස අවුරුදු තිස්පහත් පැනලා. අම්මට ඕනෑ වුණා මට විවාහයක් කරලා දෙන්න. ඒත් මගෙ නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වෙනකොට මල්ලි රජයේ රෝහලක සේවය කරමින් හිටියේ. මට හරිම සතුටුයි මගෙ හීන සැබැ වෙච්ච නිසා. මල්ලිට බඳින්න කෙනෙකුත් හිටියා. ටික කාලෙකට පස්සේ මල්ලි විවාහ වෙලා පිටරටක පදිංචියට ගියා.
නංගිත් නිතර නිතර එයාගේ යාළුවෝ හමුවෙන්න ගියා. ඒ වෙනකොට නංගි වැරදි පාරක යයි කියලා අපිට බයක් තිබුණේ නැහැ.
ඒත් අපි කවුරුවත් නොහිතපු විදිහට නංගි කරදරයක වැටිලා. ඒ හැම දෙයක්ම දැනගන්න කොට අපි ප්‍රමාද වැඩියි. නංගි කිසිම දෙයක් ගැන කට හෙල්ලුවේ නැහැ. මම මගේ ජීවිතේ හැම දෙයක්ම කැප කෙරුවේ නංගියි මල්ලියි වෙනුවෙන්. මට තවත් ඉවසන්න බැරිව ගියා. මම නංගිට දෙකක් විතර ගැහුවා. අන්තිමට එයා කියන්න ගත්තා.
“මට සමාවෙන්න ලොකු අයියේ… මම ඇත්තම කියන්නම්…“ නංගි මට හැම දෙයක්ම කිව්වා. එවෙලෙම මමයි අම්මයි නංගියි ඒ කොල්ලගේ ගෙදර ගියා. මට කිසිම ඉවසීමක් තිබුණේ නැහැ. අපි යනකොට ඒ ගෙදර හැමෝම හිටියා. මට මගෙ අම්මා ගැන පුදුම දුකක් දැනුණේ. තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා අපි වෙනුවෙන්ම කැපවුණු අම්මට නංගි කොහොමද මෙහෙම බොරුවක් කළේ කියලා මට හිතාගන්න බැරි වුණා. නංගි දැනගෙන ඉඳලත් නෑ ඒ මිනිහා කසාද බැඳපු කෙනෙක් කියලා. අපි ගෙදරට ගියාමයි ඒ දේවල් දැනගත්තේ. මට මගේ නංගි වෙනුවෙන් ඉවසන්න බැරි වුණා. ඒ මිනිහගෙ ගෙදරටම ගිහිල්ලයි මම පිහියෙන් ඇන්නේ. මගෙ අම්මා නංගි කෑගැහුවා. ඒ ගෙදර මිනිස්සුත් කෑගැහැව්වා. මට ඉවසන්න බැරි වුණා. කී පාරක් ඇන්නද කියලවත් මගෙ මතකයේ නැහැ.“
ඔන්න ඔය සිද්ධියට තමයි මට හිරේ එන්න වුණේ. එක පාරක් නඩුව ඇපීල් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මට මරණ දඬුවම හිමි වුණා. මාසයකට වතාවක් අම්මයි නංගියි එනවා මාව බලන්න. නංගිට ලැබුණ දරු පැටියා දැන් ඉන්නේ මගෙ මල්ලි ගාව. මල්ලිට දරුවෝ නැති නිසා එයා දරුවා ගත්තා. නංගි අම්මව බලාගෙන ඉන්නවා.
මම නංගිට කියලා තියෙන්නේ අම්මා නැති කාලෙක මල්ලි ගාවට යන්න කියලා. දැන් මට හිරගෙදර ජීවිතය හුරුයි. මං දන්නවා මෙතැනින් එහා ලෝකයක් මට නැති බව. වෙච්ච වැරැද්ද ගැන මට පසුතැවීමකුත් නැහැ.
ඉනෝකා සමරවික්‍රම


















