BREAKING NEWS
Search

පාසැල් ගුරුවරියට විහිලු කරන්න ගිය මාළු වෙළෙන්දාට යස පාඩමක්

44
ඔහු පවුල් බරින් මිරිකී සිටි අයෙක්.. ඒත් දවසේ හම්බවෙන මුදලින් කොහොමහරි ගෙදර වියදම කරගන්න ඔහු වග බලාගත්තා..
මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නා අතරම, මොන ප්‍රශ්න තිබුණත් ඉඳ හිට මධුවිතෙන් ද සප්පායම් වීමටද අමතක කළේ නැහැ..

අනෙක් වෙළෙන්දන්ගේ මාළු මිල වැඩියි.. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේම මාළු නොවුණත් මොහුගෙන් මිලදී ගැනීමට පිරිසක් සැදී සිටියා.. මාදැල් වාරය වන මේ කාලයේ ඔහුට අත මිට යම් මුදලක් ලැබෙන කාලයක්… අනෙක් වෙළෙන්ඳන් වගේ මාදැල් අදිනතුරු වරායට වී බලා නොසිටින මොහු දැල ඇදීමටද උදව් වීම සිරිතක්.. මාළු මිලදී ගැනීමේදී දැල් හිමියෝ මොහුට ඒ නිසා වැඩිපුර මාළු දීමටද පුරුදු වී සිටි‍යා…

මාදැල්වලට හසුවනුයේ හාල්මැස්සන් වැනි කුඩා මාළුයි… හාල්මැස්සන් මාළු මිලදී ගත් පසු මොහු මාළුන්ට ඒ හා සමානවම වැලි කලවම් කිරීම කරනුයේ වැඩි ලාබයක් ලබා ගැනීමටයි.. එහෙත් මොහුගෙන් මාළු මිලදී ගැනීමට පුරුදු වී සිටින පිරිස දිනපතාම මාළු මිලදී ගනියි..

“මාලෝ..මාලෝ.. හාල්මැස්සෝ.. දැන් දැලේ මාළු” යැයි කියමින් පසුගිය දිනක මොහු හාල්මැස්සන් මාළු වෙළෙඳාමේ ගියා.. එදා සති අන්ත නිවාඩු දිනයක්.. ඉස්කෝල හාමිනේ කෙනෙක් එදා ගෙදර සිටියා.. මිදුල අතුගාමින් සිටි ඉස්කෝල හාමිනේ දුටු මොහු පාපැදිය නවතා “ඉස්කෝලෙ හාමිනේ.. අද මාළු ගන්නේ නැද්ද? .. දැන් දැලේ මාළු ..අලු‍ත් හාල්මැස්සෝ.. ටිකක් ලොකු මාළු..” යැයි හාල්මැස්සන් ගැන වර්ණනා කළා..
“අනේ මුදලාලි අපි දැන් ගේ හදල ඉවරයි.. ඒ නිසා අපට මාළු දැන් අවශ්‍ය නැති නිසා මාළු එපා..” යැයි ඉස්කෝල හාමිනේ කීවා..

“මොකක්ද ඉස්කෝල හාමිනේ ඒ හරුපෙ..” වැඩි විස්තර දැන ගැනීමේ අටියෙන් වෙළෙන්දා ඉස්කෝල හාමිනේගෙන් විමසා සිටියා..
“නෑ ඉතිං මුදලාලි..ඔහේ විකුණන්නේ මාළුවලට වඩා වැලි නේ.. ඒ නිසා දැන් අපි ගේ හදල ඉවරයි. දැන් අපට වැලි අවශ්‍ය නැහැ. ඒ හින්දා මාළුත් අපට එපා..”

ඉස්කෝල හාමිනේ ඒ වදන් පෙළ කියා අවසන්වීමටත් පෙර ඔහු පාපැදිය හෙමින් සීරුවේ තල්ලු‍ කරගෙන ගියා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *