දංකොටුව පොලිස් වසමේ ඇටියාවල ප්‍රදේශයේ පියකු හා පුතකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් කෝපයට පත් පියා ධීවර කටයුතුවල දී මසුන් මැරීමට උපයෝගී කර ගන්නා මණ්ඩාවකින් සිය පුතාගේ මුඛයට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් දැඩි ලෙස එය මුඛය ප්‍රදේශයට ඇතුළු වී තිබීම නිසා මණ්ඩාවව ඉවත් කිරීමට නොහැකිව පහරකෑමට ලක්වූ අය මුඛය පෙදෙසට ඇතුළු වී ඇති මණ්ඩාවත් සමග කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව දංකොටුව පොලිසිය පවසයි.
19 වැනිදා සවස මෙම සිදුවීම වී ඇත. ඇටියාවල පදිංචි සජිත් රමේෂ් නමැති වයස අවුරුදු 24ක එක්දරු පියකු මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. ප්‍රහාරය එල්ල කළ පියා, ප්‍රහාරයට ලක්වූ පුතා හා ඔහුගේ බිරිඳ සහ අවුරුද්දයි මාසයක් වයසැති දරුවා එකම නිවසේ පදිංචිව සිටින අතර සිද්ධිය වූ දින පුතා නිවසට පැමිණීමට ප්‍රමාද වූ බව පවසමින් පියා සහ පුතා අතර බහින්බස්වීමක් ඇතිවී තිබේ.
මෙම ආරවුල දුරදිග ගොස් කෝපයට පත් පියා එකවරම නිවසේ තිබූ මණ්ඩාවෙන් පුතාගේ මුඛ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර තිබේ. තදින් එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් මණ්ඩාවේ ඉදිරිපස ඇති කොටසේ බිලී කොකු මෙන් සකසා ඇති තියුණු උල් කීපයක් මුඛය පසාරු කරගෙන ගොස් ඇත. ගැලවීමට නොහැකි ලෙස මුඛය කොටසට ඇතුළු වී ඇති මණ්ඩාව සමග ප්‍රහාරයට ලක් වූ අය දංකොටුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේ වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේ ප්‍රහාරයට ලක්වූ අයගේ පියා අධික ලෙස බීමත්ව සිට ඇති බවත් පියා පොලිසිය මගහරිමින් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බවත් දංකොටුව පොලිසියේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා මහතා පැවසීය.
අමරනන්ද විජේසේකර – මහවැව

















