BREAKING NEWS
Search

රට වටේ ගිහින් රන් බඩු ගල් කරන කාන්තාව ගැන අනාවරණයක්

40

හොර මැරකම්, ජාවාරම්වලට සම්බන්ධව පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා කාන්තාවන්ගේ සංඛ්‍යාවේ යම් කිසි වර්ධනයක් ඇති බව දිනපතා ජනමාධ්‍ය පළ කරන සහ ප්‍රචාරය කරන පුවත්පත්වලින් දැන ගැනීමට හැකිවීමද එක්තරා අතකින් කනගාටුදායකය. අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කාන්තාවන් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වන විට සිරගෙවල්වල සිටින බවද අමුතුවෙන් කිව යුතු නැත.

මේ අතරිනුත් දැනගැනීමට ඇති හැටියට වැඩිපුරම සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවෝය‍.

කණ්ඩායම් වශයෙන් එක්ව දුර ගමන් බස්රථවල ගමන් කරමින් ඒවායේ ගමන් කරන මගීන් සතු මිල මුදල්, රන් ආභරණ, ගමන්මලු සහ වටිනා දෑ සොරකම් කරන සංවිධානාත්මක කාන්තා කල්ලියක් කන්තලේ ප්‍රදේශයේදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර එම කල්ලියටම සම්බන්ධ තවත් කණ්ඩායමක් අනුරාධපුර ප්‍රදේශයේදී අල්ලා ගැනීමට පොලිසියට හැකි වූයේ පසුගියදාය.

මේ අතර කුඩා ළමයින් සමඟ ස්වර්ණාභරණ සාප්පුවලට ගොස් රන් ආභරණ තෝරන අතරේ ළමයකු ලවා රන්මාල ඇතුළු රන් බඩු සොරකම් කරවන කතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පිටකොටුව ප්‍රදේශයේදී පොලිසියට කොටුවූ අයුරුද ජනමාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.

පුවත්පත්වල දැන්වීම් බලා ගෘහ සේවිකාවන් ලෙස නිවෙස්වල සේවයට පැමිණ විනාඩි කීපයක් ඇතුළත නිවෙසේ තිබෙන රන් බඩු, මිල මුදල් සොරාගෙන පලා යන කතක් පසුගියදා කොටු වී තිබුණේ කොටහේන ප්‍රදේශයේදීය.

ඉතාම සංවිධානාත්මකව මෙවැනි සොරකම් සිදු කරන සය දරු මවක් අත්අඩංගුවට ගැනීමට අම්පාර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි වූයේ පසුගියදාය. ඒ අම්පාර පොලිස් දිසා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද විමර්ශනයකදීය. අම්පාර දිසාවේ අපරාධ වැළැක්වීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගෙන අදාළ අංශවලට එම තොරතුරු ලබා දීම බුද්ධි අංශයේ කාර්යභාරයයි. එසේ ලබා දුන් තොරතුරු මත පොලිසිය සිදු කරන ලද වැටලීම් කීපයක්ම සාර්ථක විය.

අම්පාර නගරයට යන එන සැකකටයුතු පුද්ගලයන් සහ අපරාධකරුවන් ගැන ඇස ගසාගෙන සිටින බුද්ධි අංශ නිලධරයන්ට සැක කටයුතු කාන්තාවක් නිරීක්ෂණය වන්නේ පසුගියදාය.

මේ කාන්තාව ගැන ඉතා සෙවිල්ලෙන් පසු වූ බුද්ධි අංශ නිලධරයන් අනාවරණය කරගන්නේ ඇය අම්පාරේ සිට පන්නල්ගම දක්වා ධාවනය වන බසයකට ගොඩ වී ඇති අන්දමයි.

බුද්ධි අංශ නිලධරයන් මේ පිළිබඳව අම්පාර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ද දැනුම්වත් කරන්නේ ඒ අනුවය. එම තොරතුරුවලට අනුව වහාම ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සැකකාරිය අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. එලෙස සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියගෙන් ප්‍රශ්න කරන්නේ ඇගේ පදිංචිය සහ ඇය අම්පාර නගරයට ආ අවශ්‍යතාව පිළිබඳවය.

ඒ අතරේ සැකකාරිය සන්තකයේ තිබුණ රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදල් සහ රන් ආභරණ උකස්හල්වලට උකස් කරන ලද රිසිට්පත් කීපයක් ද පොලිස් නිලධරයන් විසින් සොයාගෙන තිබිණි.

මේ සැකකාරිය කිසියම් අපරාධයකට සම්බන්ධ බවට සැකයක් පොලිස් නිලධරයන්ට ඇති වන්නේ ඒ අවස්ථාවේදීය.

සැකකාරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ඇය හෙළි කරන්නේ තමන් රන් වළල්ලක් අම්පාරේ උකස් හලකට උකස් තබා රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදල් ලබාගත් බවයි. එම රන් වළල්ල වවුනියාවේ රන් ආභරණහලකින් සොරකම් කරන ලද එකක් බව ඇගෙන් හෙළිවන්නේ ඉන් අනතුරුවය.

මේ කාන්තාව මෙවැනි රන් ආභරණ සොරකම්වලට තවත් සම්බන්ධදැයි සෙවීම සඳහා අම්පාර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වන්නේ ඇය වවුනියාව, මොනරාගල, යාපනය ඇතුළු ප්‍රදේශ රැසක රන් ආභරණහල්වලින් රන් ආභරණ සොරකම් කර ඇති බවකි.

මේ සැකකාරියට එරෙහිව සමන්තුරය, කෑගල්ල, අනුරාධපුර අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවද හෙළිවන්නේ එහිදීය. ක්‍රෙඩිට් කාඩ්පතක් සොරකම් කර ඉන් වංචනිකව මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මේ සැකකාරියට එරෙහිව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන බවද හෙළිවන්නේ එහිදීය.

මේ කාන්තාව රටේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් රන් භාණ්ඩ අලෙවිහල්වලට ගොස් රන් ආභරණ මිලදී ගන්නා බව හඟවමින් ඒවා පරීක්ෂා කරන මුවාවෙන් රන් ආභරණ සොරකම් කරගෙන පැමිණ ඒවා උකස් කර මුදල් ලබා ගැනීමේ නිරතව සිටින බවට පොලිසිය තොරතුරු හෙළි කරගන්නේ ඉන් අනතුරුවය.

සැකකාර කාන්තාවගේ පදිංචිය පිළිබඳව සොයා බලද්දී පොලිසිය සොයා ගන්නේ ඇය ඇහැලියගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක බවය. සැකකාරිගේ වයස අවුරුදු 42ක් වන අතර ඇය සයදරු මවක බවද හෙළිවන්නේ එහිදීය.

මේ කාන්තාව අම්පාර, මුවංගල ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි සිටින අතරේ රන් භාණ්ඩ සොරකම් කිරීමේ ‘වෘත්තියේ’ දිගටම නිරත වී ඇති බවද අනාවරණය විය. සැකකාරිය මෙවැනි අපරාධවලට තව තවත් සම්බන්ධවීදැයි සොයා බැලීම සඳහා රටපුරා පොලිස් ස්ථානවලට ඇය පිළිබඳ තොරතුරු ලබා දී තිබේ.

අම්පාර වැඩබලන පොලිස් අධිකාරී ඒ.එස්.කේ. බණ්ඩාරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී හේමන්ත සෙනවිරත්නගේ අධීක්ෂණයෙන් අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩී.යු.ආර්.පී. කුමාරගේ සැරයන්වරුන් වන (4116) වීරසිංහ, (70319) හේරත්, (66728) සූරියප්පෙරුම, (18246) මාලිත, (74510) සඳරුවන් කොස්තාපල්වරුන් වන (8200) බාලසූරිය, (84729) සංජය, කාන්තා සැරයන් (4588) ජයන්ති, පොලිස් කොස්තාපල් රියැදුරු (8059) ලාල් යන නිලධරයෝ වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *