යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සරුංගලයක් යවමින් සිටි තරුණයෙකු තවත් සරුංගල් ලණුවක පැටලීම හේතුවෙන් එම තරුණයා අඩි හැටක් පමණ ඉහළ උසකට ඇදී ගොස් ඇති බව අප ප්‍රදේශීය වාර්තාකරු පවසනවා.
එහිදී ඔහු ලණුව සමඟ ඉහළ අහසේ පාවෙමින් සිටියදී විනාඩි හතරකට පමණ පසු ලණුවේ මැද කොටස අසල වූ තල් ගසක පැටලීමෙන් පසුව තරුණයා ඉහළ අහසට ඇදී යාම වැලකී ගොස් තිබෙනවා.
අනතුරුව අසල එක් රැස්ව සිටි පිරිසගේ උපදෙස් පරිදි එම තරුණයා නිසොල්මන් වූ සරුංගල් ලණුව ඔස්සේ පහළට පැමිණ ඇති අතර, එම සිදුවීමෙන් ඔහුට බරපතළ තත්ත්වයේ තුවාල කිසිවක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
යාපනයේ ඉතා විශාල සරුංගල් යැවීම සම්ප්‍රදායිකව වසර ගණනාවක සිට සිදුවන අතර, ඒවාට නූල් වෙනුවට විශාල කඹ යොදා තිබීමත් ඇතැම් සරුංගල් අහසට යැවීම පිණිස විදුලි මෝටර් සවි කිරීමත් සිදු කෙරෙනවා.
මීට වසර හතරකට ඉහතදී ද, යාපනයේ තරුණයෙකු සරුංගලයක ලණුවක පැටලීම නිසා අඩි හතලිහක් පමණ ඉහළ අහසට ඇදී ගිය අතර, විනාඩි කිහිපයකට පසුව ඔහු ලණුව අතහැර බිමට පතිත වීම හේතුවෙන් ඔහුගේ පාදවල අස්ථි බිදී මාසයකට වඩා වැඩි කාලයක් ප්‍රථිකාර ගැනීමටද සිදුවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
එම සිදුවීමට අදාල ඡායාරූප කිහිපයක් සහ වීඩියෝව පහතින්



















